04 October, 2014

ආරම්භයක කතාවක්

                                     
සහෝදර කියලා නම මම මොනවට බොගියට දැම්ම ද කියලා හරියටම කියන්න බෑ,හබැයි මීට කාලයකට කලින් එහෙම කළා.ඇත්තටම පටන් ගත්තෙ සහෝදර කියන නමින් නෙවෙයි.පටන් ගත්තෙ සහෘදයා ගේ අඩහැරය වගේ නමකින්,පස්සෙ සහෝදර උනා.ඇත්ත නමින් මේ වැඩේ කලා නම් හොදයි කියලා මුල් දවස් වල හිතුණත් සහෝදර කියන නම ඊට වඩා ලෙසි කියලා හිතුණා. සමහරු හිතුවෙ සහෝදර කියලා නම තියෙන නිසා මම මොකක් හරි දේශපාලන මතයක් කියන්න හදන කෙනෙක් කියලා,ලියන්න පටන් ගත්තෙ මුලින්ම චේ ගැන කියලා නේ,පස්සෙ වම ගැනත් විකාරයක් කියලා තිබුණා එක නිසා එහෙම හිතන එකෙත් වැරැද්දක් නෑ.හැබැයි මං ඒ ගැනත් මුලින්ම පැහැදිලි කළා. .

 ඒ දවස් වල උ.පෙ කරන්න යනකොට තාත්තා පොඩ් ෆොන් එකක් අරන් දුන්නා හැබැයි එකෙන් බුකියට එන්න පුළුවන් ඔහොම එන යනකොට අපේ රන්දු මොනවද කවි දානවා බුකියේ සිතුවිලි හාන්තාන කියලා,ඒ දවස්වල ඔය ෆෙස් බුක් යන්න සමහර වෙලාවල් වලට කැෆේ වලට යනවා පැයට හැටක් වගේ ගාණක් ගෙවලා එහෙම ගිය වෙලාවක ඔය හන්තානට පොඩ්ඩක් ගොඩවෙලා බැලුවා,පස්සෙ එතනින් කතන්දර බොගිය හම්බවුණා.අමුතුම කතා,එක කතාවක් බලන්න පටන් ගත්තාම ලින්කු වලින් ගිහින් කියවන්න කතා කොච්චර ද?එදා ඉදන් කියවන්න ගත්තා කතන්දර බොගිය.එහෙම ඉන්න දවසක මම කකාට මෙල් එකක් යැව්වා ගණිකාවක් ගැන තිබුණු කතාවක්  අහලා ඒ ගැන ලියන්න කියලා ,කකා එකට පිළිතුරු ඊළඟ දවසේම එවලා තිබුණා.මෙහෙම ඉන්න දවසක බොගි ගැන පොඩි විස්තර ටිකක් යාළුවෙක් කියලා දුන්නා,නැත්නම් රන්දුණුව හම්බවුණාම අහන්න හිටියේ මටත් ලියන්න පටන් ආසාවක් තිබුණා ඒ දවස් වල.පස්සෙ කාලේක සහෝදර බොගියක් පටන් ගත්තා හැබැයි බොගි ගැන මෙලෝ මලදානයක් දන්නෙ නැතුව අද එක්ක බලනකොට.සහෝදර ගේ පරිඝණක දැනුමත් අන්තිමයි.කොමහරි බොගිය අටව ගත්තට එක මනුස්සයෙක්ට බලන්න බෑ,අකුරු පොල් සයිස්,තව වැරදි ගොඩක් තිබුණා.පස්සෙ ඔමායා අක්කට කියලා තමයි බොගි යන්තම් පොඩ්ඩක් කියවන්න පුළුවන් තත්වයකට ගත්තෙ.එහෙම උදව් කලාට ස්තුතියි කරන්න අවුරුද්දක කාලයක් යනතුරුම බැරි උනා .මල්ලි අරක වෙනස් කරන්න,අකුරු කියවන්න බෑ,අර ගැජ්ට් එක දාන්න,එක කරන්න මෙහෙමයි කියලා කොමහරි ගොඩ දැම්මා සහෝදරව,එ කරපු උදව් වලට ස්තුතියි..... 

සහෝදර මේ අවුරුද්දක් ඇතුලත පුළුවන් හැමවෙලාවකම බොගියක් කියවන්න උත්සහා කලා,නම් කියන්න ගියොත් දිග නම් ලිස්ට් එකක් තියෙනවා තව ස්තුතියි කරන්න ඕන,විශේෂයෙන්ම සහෝදරට මුල් දවස් වල ඉදලා අද දක්වා සහෝදර ලියන දේවල් කියවලා අඩුපාඩු පෙන්වලා අද සහෝදර කියලා බොගියක් තියෙන්න අවශ්‍ය හයිය දුන්නු කට්ටියට.ඒ වගෙම  කමෙන්ටුවක් නොදමා වුනත් කියවන පිරිසට.සියලු දෙනාට ස්තුතියි.................

ප.ලි 

මං සහෝදර හැර මේ බොගි ලියන වෙන සහෝදර කෙනෙක් ඉන්නවා ද?තව කියන්න බොහෝ දේවල් තියෙනවා.එත් මාසයක් ලියන්නෙ නැතුව ඉදලා ලියන විදියත් අමතක වෙලා වගේ :) .........


21 August, 2014

වම



විවිධ හේතු කාරණා මුල් කරගෙන මං පොඩි පොඩි කතා ලිව්වා.එහෙම ලියන අතරේ විවිධ දින වෙනුවෙන් ද පුංචි පොස්ටුක් ලියන්න පුළුවන් උණා.මේ පොස්ටුවත් එවැනිම එකක් ...

දකුණ සහ වම,ලොකේ හැම දෙයක්ම හදුන ගන්න විවිධ නාමයක් යොදපු වෙලාවෙදි මෙහෙම වෙන් කරන්න ඇති වෙන් කරලා අදුන ගන්න.අපි පොඩි කාලේ පාරේ පයින් යනවා නම් යන්න ඕන දකුණු පැත්තෙන් කියලා වැඩිහිටියෝ කියලා දුන්නා.තව කෑම කන්න ඕන දකුණු අතින් කියලා කිව්වා.ලියන්න ඕන දකුණු අතින් කියලා පැන්සල දකුණු අතට බලෙන් දුන්නා.ටිකක් ලොකු මහත් වෙනකොට අපි කවුරුත් දන්න ලිබරල් දේශපාලනය හෙවත් දක්ෂණාංශික දේශපාලනය හොදම එක කියලා බලෙන් පෙන්වන්න හැදුවා.දකුණ කියන වචනය නිවරදි කියන වචනය වගේ කියලා සැලකුවා.සමහර අය වම් අතින් ලියන කන බොන මිනිස්සුව දකින්න පිළිකුල් කලා.පිළිකුල් දෙයක් කියන්නත් එ දේවල් පාවිච්චි කලා.එහෙම කරන්නෙ දකුණින් කන බොන ලියන,වැඩ කරන  මිනිස්සු ගාව වැඩි යමක් තිබුණ නිසා වෙන්ඩ ඇති.

පොඩිම කාලේ සහෝදර ගිය ඉස්කෝලෙ පොඩි ඩෙස්ක් එකක ළමයි තුන් දෙනෙක් හිටියා.එහෙම ඉන්න කොට මට තිබුණ ලොකුම ගැටලුව තමයි මම ලියන කොට මගේ අත අනික් ලඟ ඉන්න ළමයා ගේ අතේ වැදිම දෙන්නටම එක අපහසුයි එක නිසා කොහොම හරි මට තනියෙන් වාඩි ගන්න තැනක් ලැබුණා.එහෙම තනියම ඉන්න ලැබීම පොඩි කාලේ දි මට තේරුණේ මාව පංතියේ කොන් කරලා වගේ.ගුරුවරිය ලගම වෙනම බංකුවක ඉන්න ලැබුණා.ඉස්කොලේ දි දිගටම ඔය ප්‍රශ්නය තිබුණා,ඇතැම් දේශන වලට සහභාගි වුණ වෙලාවට යමක් ලියා ගන්න තියෙන ඇදි තියේන පුටුවෙ ඉදලා මේ ප්‍රශ්නය තිබුනා.තව මුසිකය අල්ලන තැනදිත් ඔය ප්‍රශ්නෙම නැවත ආවා.බයිසිකලයක් පදින්න පුරුදු වෙන්න ඕන දකුණින් කියලා පුරුදු කරන්න හැදුවා එත් ඒ දේවල් සහෝදරට නම් කිසිම දවසක වලංගු වුණේ නෑ.සහෝදර ගේ බොහෝ වැඩකටයුතු වමට බර වුණා.ඒ දේවල් ගෙදර අයට ගැටලුවක් වුණේ නැත්තෙ සහෝදර ගේ පියාත් වමත් කරුවෙක් වුණ නිසා වෙන්න ඇති.මේ වමෙන් වැඩ කිරිම ඇතැම් අයට විකෘතියක් වගේ දැකපු අවස්ථාත් තිබුණා.

මේ හැමදෙයක්ම කිව්වෙ දකුණත් කාරයෝ,එහෙම කියන්න දකුණතට බරව වැඩ කරන්න ඕන කියලා හදා ගත්තෙත් දකුණත් කාරයින් ගේ පහසුවට වෙන්න ඇති හැබැයි ප්‍රතිශතයක් විදියට අඩු වුනත් වම් අත වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්න පිරිසක් ඉන්නවා ඒ අතර සහෝදරත් ඉන්නවා.බොහෝ දේවල් වලට දින වෙන් කරලා තියෙන අතරේ වමත්කරුවන්ටත් දිනයක් තියෙනවා ඒ අගෝස්තු 13 වනදා,පොස්ටුව දාන කොට නම් දිනේ පහුවෙලා .....


ප.ලි 
සම හරක් කියනවා වමෙන් ලියන අය බුද්ධිමත්ලු ,අකුරු ලස්සනලු,කතාවටත් දක්ෂ ඇති ද දන්නෙ නෑ...මේ ගැන  තියේ නම් අත්දැකීම් කමෙන්ටුවක් ලෙස ඒ දේවල් එක් කරන්න.

08 August, 2014

යුතුකම


පියදාස  ඉඩොරයට පුරන්ව ගිය කුඹුරේ අතරින් පතර බොල්ව ගොස්  නොමැති වී කරල් සොයා අතින් කඩමින් උර පත්තෙහි එල්ලා ගෙන සිටි මල්ලට දමා ගනි.පිදිමට ආසන්නව ඉඩොරයට අසු වු කුඹුරේ එක් පසකි,තවත් කොටසක් පීදුණු බොල් වී විය.අහස දෙස බැලු පියදාස දිගු හුස්මක් හෙළා මුහුණේ තිබු දහඩිය පිස දැමිය.මාස ගණනකින් වැසි දියක් නොලද පොළොව විවිධ රටාවල් මතු කරමින් ඉරිතලා ගොස් ය.අක්කර තුනක පමණ කුඹුරු යායක් සම්පූර්ණයෙන්ම ඉඩොරයට හසුව පුරන්ව ගොස් තිබිණ.ගොයම් කණාටුව බිමට හැරි වියළි ගොස් තිබුණෙ පියදාස ගේ දහසක් බලාපොරොත්තු ද සමගිනි.කැද ටිකක් හෝ බීමට වී ප්‍රමාණයක් සොයා ගැනිමට සිතු හේ ගිනි පූටකය නොතකා දෑකැත්තක් මෙන් නැවි කුඹුරේ වී කරල් ඇහිදිය.දරුවන් සිවු දෙනෙකු ගෙන් යුතු පවුල යැපුනේ පියදාස වගා කල දෙයකිනි.ඔහුගේ ලොකු දුව වු කමලාට පසුගිය දිනක ඉස්කොලයක කම්කරු පත්විමක් ලැබිම කරදර කන්දක් ගොඩ ගැසි තිබු පියදාස ගේ සිතට  යම් සහනයක් ගෙන ආ කරුණක් විය.දීග දෙන වයසක සිටි කමලාට කම්කරු පත්වීමක් සදා දුන්නෙ ඔහු වගා කටයුතු කල ගොඩ ඉඩම් අක්කර දෙක උගස් කර ලැබුණු මුදලිනි....

තාත්තෙ...........තාත්තෙ............

ඔහු හිස ඔසවා බැලීය ...ඔහු ගේ පොඩි දරුවා වන පියසෝම කුඹුර දෙසට දිව එමින් සිටීය....වයස අවුරුදු දහයක් පමණ වු පියසොම කොණ්ඩය අවුල් කර ගත් හිසින් හා නාවර පෙරුණු මුහුණකින් හා අත් පා වලින් නිතරම සිටි කොලු ගැටයෙකි.නිතර නිතර ගමේහි විවිධ දඩබ්බර වැඩ කල ඔහු නිසා පියදාස මිනිසුන් ඉදිරියේ සමාව ගැනිම් නිතර සිදුවූ දෙයක් විය.

මොකෑ ......උක්කුවෝ මේ ගිනි පූටකේ ......ඔහු හති අරිමින් කියන්නට සැරසුණ දේ ගැන පියදාස බිය උයේ ඔහු ගේ මෙම හැසිරිම පිළිබඳ දැන උන් හෙයිනි......

අර අන්දිරිසා මට පත බාන්න පන්නනවා ...ඔහු ඇස් ලොකු කර ගනිමින් පැවැසීය...

හේතුවක් නැතුව උඹට පත බාන්න එළවන්නෙ ඌට පිස්සු ඈ ....

එක මන් දන්නෙ නෑ ...මද වෙලාවක් ගත වන විට අන්දිරිස් තරමක කෝටුවක් ගෙන එමීන් සිටි අතර එය දුටු පියසෝම තව පියා පිටුපස සිට ගත්තෙ බිය නිසාමය.

පියදාස උඹේ කොල්ලා මගේ වත්තට පැනලා කෙසෙල් කැන් වල තිබුණ බාගෙට ඉදුණු කෙසෙල් ගෙඩි ටිකත් කාලා,කුරුම්බා ටිකත් ගලක ගහලා බොනවා මගේ අතටම අහු උණා.....පියදාස උක්කුවා දෙස බැලීය...

මේ ඇත්තද කියන්නෙ ?ඈ උක්කුවෝ .....පියසෝම කිසිත් නොකියා පියදාස ගේ සරමේ කොනින් අල්ලාගෙන බීම බලාගෙන හිදී ....

උඹට මගේ පාඩුව ගෙවන්න වෙයි ඕන් ....මේ ගිනි පූටකෙට හැම තැනම වෙලිලා තියෙන වෙලාවෙ උඹ දන්නවා නේ ගණන් බඩු වල,පියදාස කිසිත් නොකියා කර බා ගත්තෙ වරද ඇත්තෙ තමා ගේ පුත්‍රයා ගේ බව එත්තු ගැන්වි තිබුණු බැවිනි ....අන්දිරිස් පිටව ගොස් මද වෙලාවක් ගත වත්ම .....

ඈ උක්කුවෝ උඹ මොකද අර මනුස්සයා ගේ වත්තට හොරෙන් පැනලා කුරුම්බා කෑවේ?කුඹුරේ වියළි ගිය දිය කුඹුක් ගසක් එක් අතකට ගනිමින් අනික් අතින් පියදාස උක්කුවාව අල්ලා ගෙන ඇසිය .

බඩගින්නට ......අම්මා කිව්වා අද උදෙට ඉව්වෙ නෑ කියලා,ඊයේ රෑත් කෑවෙ නෑ මට බඩගිනි නිසා කෑවේ ..උක්කුවා මහ හඩින් හැඩිය......

                                                     **********************

සුමනෝ ......සුමනෝ .... මෙන්න ටික සුද්ධ කරලා බලපන් කැද ටිකක් හරි හදා ගන්න හාල් ටිකක් තියෙනව ද කියලා .....අද ග්‍රාම සේවක මහත්තයා ආවෙ නැතෙයි අධාර ලියන් යන්න .....මං එනකොට සිරිපාලයා කිව්වෙ උන්දැලාට ලිව්වා කියලා ....

ඔහේ ආවේ ...ලොකු කෙල්ලට ආණ්ඩුවේ පත්වීමක් තියෙනවා කියලා අපිට අධාර නැතිලු ...පියදාස ගේ මුහුණ රතු විය...

එක හරි කතාවක් නේ ...ලොකු කෙල්ල ගෙන් ඈ අපි කලා බීලා ඉන්නෙ .....එකිටත් තවම කන්න බොන්න දෙන්නෙ අපි ....අනික එකිට කියාලා මහ ලොකු සල්ලියක් ලැබෙනවා ඈ ......

මිදුල ඉදිරිපස දෙසින් ඇසුණු වාහන සද්දය නිසා පියදාස නිවසින් එළියට අවුත් බැලීය ......නව පන්නයේ මෝටර් රථයක් මිදුලෙහි නතර කර ඇත.එයින් පිටතට බැස නිවසට ගොඩ වුණු පුද්ගලයාව පියදාසට හැදිණ ගැනිමට හැකි විය.එ ලොකු මහත්මයා ගේ ලේකම් තුමා වූ නිමලසිරි මහතා විය .තරමක් ඉදිරියට බඩ නෙරා තිබු ඔහු අතින් ගත් පොත් පත් මිටියකි,නිවසට ගොඩ වැදුණු ඔහු විශාල පොතක් පෙරළා බැලීය .....දැඩි ඉඩොරය මුහුණ පා අන්ත අසරණව සිටි ඔහු බලාපොරොත්තු නෙතින් බලා සිටියේ කෑමට හෝ යම් අධාරයක් දෙන්නට ඔහු පැමිණ ඇතැයි සිතාය ....

කමලා කියන්නෙ කවුද ?....

ඒ අපේ ලොකු කෙලි ?මොකක් හරි උවමනාවක් ද මහත්තයෝ ?....

අලුතින් ඉස්කෝල වලට පත්වීමක් හම්බ උනා නේද ?....දැන් කොහෙද වැඩ කරන්නෙ ?.......

පත්වීමක් නම් හබ්බ උනා සභාවෙ සභාපති තුමා තමයි කෙල්ලට රස්සාව හදලා දුන්නෙ ....දැන් අපේ ගමේ ඉස්කොලේ තමයි වැඩ .....

ඔහු පොත පෙරලා එහි පිටුවක තිබුණු ඔහු ගේ හා කමලා ගේ රූපයක් පෙන්වීය.ඒ ඇයට පත්වීම ලබා ගැනිමට දින කිහිපයකට මත්තෙන් පත්විම් ලියුම් ලද අය වලුන්ව කැදවා  ලොකු මහත්මයා  ගැනුණු ජයාරූපය විය.

මේ තියෙන්නෙ අපේ ලොකු මහත්තයා හදලා දුන්නු රස්සාවල් වල ලැයිස්තුව,ඔහෙගේ දුවටත් රස්සාව හදලා දිලා තියෙන්නෙ අපේ ලොකු මහත්තයා ......මේ ලඟ ඉස්කෝලෙකට පත්වීම දිලා තියෙන්නෙත් ඔහෙලා අපේ ලොකු මහත්තායට ජන්දේට වැඩ කරපු උදවිය කියලා මේ පොත් වල ලියවිලා තියෙන නිසා .....ඔහු සිනා සී පියදාස දෙස බැලිය ...

අනේ ඉතිං කවුරු උනත්  කෙලිට රස්සාව හදලා දිපු එක අපිට කරපු ලොකු උපකාරයක් නොවෑ ....

දැන් එ කරපු උපකාර වලට යුතුකම් ඉෂ්ඨ කරන වෙලාව ....එතුමාට මේ පාර ජන්දය ජය ගන්න සුබ පතලා ගේ ඉස්සරහා පාරට පේන්න පොස්ටරයක් දාන්න ඕන ....

හරි ,මහත්තයෝ මහත්තයලා කැමැති එකක් ගෙදර ඉස්සරහින් එල්ලන්න එකට අපේ කිසිම අමනාපයක් නෑ .....


                                                    ************************** 
පියදාස නිවස ඉදිරිපිට බංකුව මත හිද බර කල්පනාවකය,කකුලේන් මිදුලේ වැලි එකතු කොට නැවැත විසුරවා හරියි ....

ඈ ..එයි අර මහත්තයා මොකද කිවේ ....මොකක් හරි ආධාරයක් වත් දෙනවා කිව්වද ?

මොන .....උන්දැ කියන්නෙ ලොකු මහත්තයාලු අපේ කෙලිට රස්සාව හදලා දුන්නෙ කියලා ...

ඉතිං ..ඔහේ මොකද කිව්වෙ ?.....

මං මොනවා කියන්න ද ඒයි ,ලොකු කෙළිව දුරකට මාරු කොලා නම් එහෙම .....අනික ඔය මොකක්ද පෝස්ටරයක් ගහන්න කිව්වෙ ගෙදර ඉස්සරහා .....

පොස්ටරය දිලා ගියැයි ???

නෑ හෙට ටවුමේ පෝස්ටර් ගහන කඩෙන් සල්ලි දිලා ගන්න කිව්වෙ ගිහින් ....

අපිට පොඩි උන්ට වෙලක් කන්න දෙන්න බැරුව ඉන්න වෙලාවෙ කොහෙන්ද සල්ලි පොස්ටර් වලට......


ඔකට මහ ලොකු ගාණක් යන්නෙ නැතුව ඇති බන් ...පොඩි කඩදාසි කොළයක් නේ,එ වගේද කෙළි ගේ රස්සාව............පසුදින උදෑසනින්ම පියදාස නගරයක් ගියේ කඩේ මුදලාලි ගෙන් ණයට මුදලක් රැගෙන ය....සවස් වන තෙක්ම නිවසට තම සැමියා එනතුරු ඈ බලා හිදීය ....ගොම්මන් අදුර වැටෙන විට පියදාස ගෙට ගොඩ වුයේ බලාපොරොත්තු කඩ වූ මුහුණින් ය...ඈ කිසිත් නොඅසා උන්නාය ...

ඊයේ ගිය වැඩේ මොකෑ උණේ පෝස්ටර් ඉවර වෙලාද ??

එක මේ ඔහේ හිතන ජාතියේ සුළු පටු එකක් නෙවෙයි ....එක ගන්නවා නම් සැහෙන සල්ලියක් ඕන ....අර ගෙවල් ඉස්සරහා ගහලා විසාල රූප තියෙන්නෙ අන්න එකක් ඒයි ......පියදාස සොවින් බර මුහුණින් පැවැසිය ....

එතකොට එවත් ගහලා තියෙන්නෙ ඒ මිනිස්සුන් ගේ සල්ලි වලින් ද ?අපි ඔන්න ඔහේ ඉමු ....ඔවා නොගහා .......

මං එනකොට සිරිදාසව මුණ ගැහුණා...අපේ කෙළිත් එක්ක රස්සාව හම්බ උණු සිරිදාස ගේ කොල්ලා ගේ රස්සාව නැති වෙලාලු.....අපි කොච්චර අමාරුවෙන් ද කෙළිට රස්සාව හදලා දුන්නෙ ....අනික එකි දැන් දීග දෙන වයසේ,මං කපුවටත් කිව්වා රස්සාවක් තියෙන තැනකින් මගුලක් ආවොත් කියන්ඩ කියලා .......පියදාස ලොකු හුස්මක් ගෙන හීල්ලිය ...

මද වෙලාවක්   නිහඬව හිදි ඈ ගෙතුළට වැද අතේ යමක් ගුලි කොට ගෙන වුත් ඔහු අත තැබුවාය....

මෙකවත් තියලා සල්ලි ටිකක් ගන්න බලන්න....අපිට පස්සෙ බැරියෑ ඔක බේර ගන්න....හදිසියකට ගන්න කියලා අරන් තිබ්බෙ ........කරාබු දෙක අතමත තබා ගත් පියදාස වචනයකුදු පිට කර ගැනිමට නොහැකිව සුමනා දෙස බලා හිදීය ....






18 July, 2014

රා මුට්ටිය ...

තිත්ත කළුවර වැටුණු අහසේ තැනින් තැන විදුලි රේඛා විටින් විට මතු වෙයි.ගෙදර පිල මත තිබූ කුප්පි ලාම්පුව විටින් විට හමන සුළඟින් නිවෙන්නට යෑම වැළැක්වීමට මැණිකා ලාම්පු දැල්ල අතින් වසයි..විට්න් විට හමන සුළගත් සමඟ මුසු වූ පිනි ඇගේ මුහුණ පිස හමද්දි........ඈතින් අරනොරිස් ගේ සුපුරුදු ගීතය ඇසෙත්ම පිලෙන් සිට ගත් ඇය නිවස ඇතුළට වැදුණේ කලින් ලද පහර කෑම් වල වේදනාව තවමත් නොමැකි මතකයේ තිබූ හෙයිනි........

කෝ මේ ගෙදර උන් ? සරම කැසපොට ගසා ගත් අරනොරිස් කෑ මොර දීම ඔහුගේ සිරිතය..රා පේරිම,කිතුල් පැණි හා හකුරු සෑදිම ජිවිකාව කර ගත් ඔහු වචනයේ අර්ථයෙන්ම රා ගුඩ්ඩෙකි .....

යකෝ .....මේ ගෙදර උන් කොහේ තොලොංචි වෙලාද ? ඔහුගේ කෝපය වැඩිවත්ම භාෂාව ද සැර පරුෂ වීම මැණිකාට හුරුය ...ඇය මුවින් කිසිත් නොදොඩා ඉදිරිපස දොර ළඟට වුත් කුප්පි ලාම්පුවෙන් එළිය අල්ලා ඔහුට නිවසට එමට සැලස්විය....

බත් කාලා හිටියා නම් ....මැටි බදුනට බත් හා වෙනත් ව්‍යංජන බෙදා අරනොරිස්ට පිලි ගැන්වු ඇය බලා උන්නෙ ඇයගේ ලොකු පුත්‍රයා නිවසට ගොඩ වන තුරුය ...ඔහු තරුණ කොලු ගැටයෙකි යන්තමින් දැලි රැවුල මුහුණෙ වැවුණු ඔහු නමින් යසපාල විය .ඔහුට රැකියාවක් නොතිබුණ අතර කළ එකම රාජකාරිය කොල්ලන් සමග ගම වටේ රවුම් ගසා රාත්‍රියේ නිවසට වැද නිදා ගැනිම පමණි....මෙතෙක් වෙලා ගැබ්බර හිටි අහස එක්වරම වැහි කඩා හලන්නට විය ...කළුවර රැයක අතොරක් නොමැතිව,අකුණු විදිමින් වහිනා වැස්ස රාත්‍රිය චමත්කාරය ඉහළ නැංවිය....අකුණු එළියෙන් නිවසේ විවිධ හැඩ සෙවනැලි මතුවී පෙනෙයි ...එවා සුන්දරය,මිහිරිය,කලින් හැමු සැඩ සුළග වුවද වාර්ෂාව සමඟ එක් වු විට හමන්නෙ ගතට සිසිලස දෙන අයුරිනි .....

වැස්ස තුරල් වත්ම ඉදිරිපස දොරට කවුරුන් හෝ තට්ටු කරනු හඩ ඇසුණු මැණිකා නැවැත කුප්පි ලාම්පුව දල්වා ......

කවුද ............ 
අම්මා ...දොර අරින්න ...මේ මම ....ගොනි පඩංගුව දෙකොන ගොට්ටක් අකාරයට නමා හිස මත දමා ගත් යසපාල දොර අසලය .....

ආ ...උඹට දැන් ද ගෙදර මතක් වුණේ ...මුවින් කිසිත් නොකි ඔහු පැදුර එලා නිදා ගැනිමට සැරසුණ අතර ...

අන්න බත් බෙදලා තියෙනවා කාපාන් ........

                                                        ******************
අදත් තෙලිජ්ජ ටික මොකෙක් හරි බීලා ගිහිල්ලා,.....උදැසනින්ම හකුරු සෑදිමට අවශ්‍ය තෙලිජ්ජ ගෙන එමට ගිය හේ නිරුවත් පපුව අත ගාමින් නිවසේ පිලෙහි හිද හීල්ලිය ....

මොකා බොන්නද ? තමුසේ ඒ ටිකත් බොන්න ඇති කන මදයා වගේ ....අයේ බොන්න ගියාම තමුසේට සිහියත් තියෙන එකක් ඈ ...විල්ප්‍රට් මහත්තයාට පිං සිද්ධ වෙන්න මං අර රබර් කැල්ල කිරි කැපුවේ නැත්නම් ඔහෙල ගේ බඩ දැන් පිටට ඇලිලා .....

මැණිකා ගේ වචන අරනොරිස් ගේ පපුව හරහා සිදුරු වී ගියේ මූනිස්සම් කැට එකින් එක තම පපුවට විදින්නාක් මෙනි...ඔහු මුවින් කිසිත් නොකියා කල්පනාවෙ සිට එක් වරම ඉණෙහි රුවාගෙන සිටි පිහිය ගෙන අතට කෝපයෙන් වෙව්ලන මුහුණින් යුතුව ....

අද මං කරන්නම් හොද වැඩක්,ඔහු කෝපයෙන් වෙව්ලන අතින් පිහියත් ගෙන ......

මේ ගිනි මද්දහනෙ කොහෙද මනුස්සයෝ ඔය යන්න හදන්නෙ ?...

මෙතුවක් කාලයක් මේ ගමේ එකෙක් මගේ තෙලිජ්ජ ටිකට අත තියලා නෑ..මං හොරකන් කරපු එකාට හොද වැඩක් කරන්න යන්නෙ ..සරමෙහි කොනක්  දණහිසට මදක් උඩඩ එන තෙක් අතින් ගෙන කඩුල්ල උඩින් පැන ගිය අරනොරිස් ගැන මැණිකා ගේ සිතෙහි බියක් ඇති නොවුනාම නොවේ.නමුත් ඇයට කළ හැක්කක් නොමැත,අරනොරිස් කොට කෙන්තිකාරයෙකි එ බව ඈ හොදින්ම දැන් උන්නාය...ඔහු ප්‍රශ්නයක පැටලුණු පසු කොතනින් කෙළවර කර ගනිද යන්න දන්නෙ ඔහුම පමණි...

ගොම්මන් අඳුරු වැටෙත්ම නිවසට අරනොරිස් පැමිණියේ පුරුදුපරිදි කට ගොන්නක් බී ගෙනමය ....ඔහු විටෙක  සිනාසෙයි ,තවත් විටෙක කල්පනා කරයි ...

හැක් ...අද නම් ඌ කම්මුතු වෙනවා ....හැක් හැක් .....මං හොද වැඩක් කරලා ආවේ ....

තමුසේ මොනවද කරේ ගිහින් මනුස්සයෙක්ට ගැහුවද ?රා පොල්කට්ටක් නිසා ...

හැක් ..පිස්සුද..මං කිතුලේ උඩින් හැර කපලා ආවේ....ඌ ගහ යටම කම්මුතු වෙලා යන්න .... හැක් හැක් ...

                                                             *****************

පසුදින උදෑසනින්ම අරනොරිස් නිවසින් පිටව ගොස් තිබිණ.දහවල් වන විට නැවත නිවසට වුත් පිල මත වාඩිවී බුලත් විටක් හපයි ...විටින් විට රත් පැහැති කෙළ ''චිරිස්'' හඩින් තොල් පට දෙකට ඇගිලි දෙකක් තද කොට ඒ අතරින් මිදුලට විදී .....

ඈ ...එයි ...මොකෝ අදත් තෙලිජ්ජ නැත්ද ?පිල උඩ බකන් නිලන් ඉන්නෙ ?

කොහේ ....මං ඊයෙ කිතුලේ උඩ හැර කපලා අවේ,ඌ එක මග ඇරලා ගහ දිගේ ගොහින් නේ ...

අනේ යනවා යන්න තමුසේගේ බොරු නොකියා ....එකත් බිලා මෙතන තව බොරුත් ගොතනවා ......පිලෙන් නැගිට සිටි අරනොරිස් මිදුලට බැස මුවින් කිසිත් නොබැණ කඩුල්ල පැන යනු මැණිකා බලා උන්නාය ....

එදින හවස අරනොරිස් නිවසට ආවේ බිමතින් නොවිම මැණිකා ගේ පුදුමයට හේතු වුවත් ඇය එ ගැන කිසිත් නොඅසා සිටි අතර අරනොරිස් ඉදිරිපස පිලට බර දී රෑ සඳ මුදුන් වනතුරුම කල්පනාවකය ..

එයි ...මේ බත් ටික කාලා හිටියා නම් ?

හ්ම්ම්ම්....

මොකෝ ඔහෙට වෙලා තියෙන්නෙ ආපු වෙලේ ඉදන් කල්පනාවෙමයි ....

පසුදින අරනොරිස් හදිසියේ වෙළෙඳපොළට ගිය අතර නිවසට එන විට ගොම්මන් අදුර වැටෙමින් තිබිණ.ඔහු නිවසට යන අතරතුර වෙද ගෙදර දෙස බැලුවෙ එහි ගමේ මිනිසුන් එක්කාසු වී සිටිනු දුටු හෙයිනි....ඔහු සෙමින් මිනිස්සුන් අතරින් ඇදි දුටු දෙයින් දෙපා පණ නැති වී ගියේ නොදැනුවත්වමය.වෙද නිවසෙහි ඉදිරිපස පැදුරු මත දිගා කරවු කොල්ලන් කිහිප දෙනෙකි.ක්ෂණයකින් ඔවුන් අතර සිටි ඔහු ගේ වැඩි මහලු පුත් යසපාලව ඔහුට අදුන ගැනිමට  හැකි විය.මැණිකා හා තවත් ගැහැණුන් කිහිප දෙනෙක් බිම හිද කඳුළු වගුරවයි ...ඔහු හෙමින් ලංව .....

මොකද වෙද මහත්තයෝ මගේ කොල්ලට ...? 

මොකක් හරි විසක් කැවිලා බොල,කොලුවො ටික කොහෙන් හරි විසක් දපු රහමෙරක් බීලා වගෙයි.......

අරනොරිස්ට ඇසුනෙ එපමණකි..........






 

06 July, 2014

පිස්සු ප්‍රින්සිපල්

උඹ මොකක්ද ඔය ජනෙලෙන් පැය ගාණක් තිස්සෙ බලන් ඉන්නෙ ....මන් බලා උන්නෙ උඹ දිහා......

මෙසේ කිවු මා මිත්‍රයා  ජනේල් කවුළුවෙන් ඉස්සි පිටත බැලීය...

මං අර මනුස්සයා දිහා බලා උන්නෙ ...හැමදාම වගේ මේ වෙලාවට අර බංකුවට එනවා මං දැකලා තියෙනවා ....පුස්තකාලයට එන හැමදාමත් වගේ ....

ඒ මනුස්සයා ගේ අහවල් එක්ක ද? ඔය විසි දෙකේ ලේන් එකේ පිස්සු ප්‍රින්සිපල් නේ ?හැමදාම හවසට ඔය බංකුව උඩ තමයි මිනිහා ඉන්නෙ ....

මොකක් පිස්සු ප්‍රින්සිපල් ? 

එහෙම තමයි මිනිස්සු කියන්නෙ,මිනිහා කලින් හිටිය ප්‍රින්සිපල් කෙනෙක්ලු ....දැන් නම් පිස්සු මං හිතන්නෙ .....තනියම ඇවිද ඇවිද ඉන්නෙ ...

මා කලිසම් සාක්කුවෙන් සිගරැට්වුවක් ගෙන මුවේ තබා පත්තු කලෙමී....සිගරැට් උගුරක් මුව තුළින් පිට වත්ම....

කවුද මෙකේ ඇතුළේත් සිගරැට් පත්තු කරපු තක්කඩියා .......පුස්තකාලාධිපති ගිගුලන හඩ සමඟ අඩි ශබ්දය ද ඇසිණ....මා ක්ෂණිකව සිගරැට්ටුව නිමා,ඉහළට ඇදෙන දුම් වළල්ල අතින් විසුරුවා කවුළුව ලගින් ගොස් පිටතට පැමිණ..පුස්තකාලයට ඉදිරිපිට ඇති මාර්ගයෙන්  එහායින් ඇති උද්‍යානයේ බංකුවක් වෙත ඇදුනෙමි...ඔහු වාඩිවී සිටි බංකුව වෙත ඇදුණු මා නැවත සිගරැට්ටුවක් ගෙන පත්තු කර ගතිමි.....

ඔහු පහතට නැඹුරුව වැඩකය,විටින් විට විවිධ වරගයේ කඩදාසි වර්ග විවිධ ප්‍රමාණ වලට කතුරකින් කපයි ..එවා එකින් එක පිළිවෙළට බංකුවෙ කොනකින් තබයි ....දෙපා මුල තරමක් විශාල රෙදි වලින් කරන ලද මල්ලකි...

සිගරැට් එකක් බොනවද ?මා ඔහුට සිගරැට්ටුවක් ගැනිමට පැකැට්ටුව දිගු කළෙමි ..

වියැළුණු බොකු ගැසුණු මුහුණක් තිබුණු ඔහු අඳුරු වු දෙනෙත් ඔසවා ...සිගරැට්ටුවක් වෙව්ලන ඇගිලි තුඩු මගින් ගැනිමට තැත් කළද එය අපහසු විය...ඔහු සිගරැට්ටු දීර්ඝ කාලයක් පාවිච්චි කරන බවට ඇගිලි පුරුක් දෙස බැලූ විට පෙනිණ....ඒ ඇගිලි පුරුක් අතර සිගරැට්වු වල උණුසුම නිසාම කහ පැහැයට හුරු අදුරු වර්ණයක් ගෙන තිබිණ....

ඔහොම ඉන්න මං අරන් දෙනකන්, සාක්කුවට අත දමා ලයිටරය සමඟ සිගරැට්ටුවක් ඔහු අත තැබීය...සිගරැට්ටුව බීමෙන් ඔහු ප්‍රාණවත් වන බවක් මුහුණින් පෙනිණ....

මහත්මයා මේ පළාතේ කෙනෙක් නෙවෙයි නේද ?

ඇයි එහෙම අහන්නෙ ?

නෑ ....මේ පළාතේ කෙනෙක් නම් මෙහෙම මං ඉන්න තැනකට එන්නෙ නෑ .....

මං නැවතිලා ඉන්නෙ අර ඇග්නස් ඇන්ටි ගේ බෝඩිමේ ....

ඇග්නස් කිව්වෙ අර හැත්ත හතේ ලේන් එකේ  ඉන්න මිටි රතුපාට ගෑනු කෙනා ද ? මං හිස සලා ඔහුට ඒ බව තහවුරු කළෙමි ......

                                                               **********
පසුදින හදිසි උවමනාවක් සදහා නගරයට යමින් සිටි මා දුටුවේ පිස්සු ප්‍රින්සිපල් කොල්ලන්  පිරිසක් සමඟ යම් රණ්ඩුවක පැටලි ඇති බවය....

උඹලා මගේ මල්ල දෙනවද නැද්ද ?ඔහු කෝපයෙන් වෙව්ලන්න මුහුණින් යුතුව කොල්ලන් පිරිස දෙසට කඩා වදි ..කොලු රෑන ඉතා දුර්වර්ණ වූ රෙදි මල්ලක් අතින් අතට විසි කරයි ....කොල්ලන් ගේ සිනාව වැඩිවත්ම මහල්ලා ගේ කෝපය ද වැඩි වන බවක් මුහුණින් පෙනිණ ...ඒ අතර සිටි ඇග්නස් ඇන්ටි ගේ පුත්‍රයාව දුර සිටම මට හැදිණ ගැනිමට හැකිවිය ... 

මල්ලි .....මල්ලි.....ඔහු මා දෙසට පැමිණෙත්ම .....මල්ලි අර මනුස්සයා ගේ බැග් එක දීලා දාන්න ...... 

හරි..හරි ...අයියා......

එදින හවස මා හට බෝඩිමට යැමට උද්‍යානය පසු කොට යා යුතුය..එදිනත් පිස්සු පින්සිපල් සුපුරුදු බංකුව මත හිද පොළොව දෙසට බරව කඩදාසි කතුරකින් කපයි...වෙනදා මෙන්ම ඔහු ඇද සිටියේ අදුරු පැහැති කබා කඩමල්ලය,කලිසමේ තැන් තැන් සිදුරු වී තිබිණ.එවාට විටින් විට අණ්ඩ දැමු කොටස් ගැලවි එල්ලෙමින් තිබිණ... මා දුටු විටම ඔහු කාලයකින් පිරිසිදු කර නැති මුව පෙන්වා සිනා සී ..

බොහොම ස්තුතියි අර වෙලාවෙ කරපු උදව්වට......සිගරැට්ටුවක් ගන්න ළඟ නැතිද මහත්මයා ?? මා සාක්කුවට අත දමා සිගරැට් එකක් සමග ලයිටරය ගෙන ඔහු අත තැබීය..දුම් වළලු කිහිපයක්ම පිට කල ඔහු කඩදාසි සියල්ල මල්ලට පිළිවෙලින් අසුරා තබා ඔහු ලගින් හිද ගන්නා ලෙස අතින් පෙන්වීය ......

මහත්මයා ඉස්සර ප්‍රින්සිපල් කෙනෙක්ලු නේද ? ඔහු ගේ මුහුණට යම් ප්‍රබෝධයක් ලැබිණ........

ඔව්....මං එහෙම තමයි..... ඔහු බෑගයෙන් නිල මුද්‍රාවක් ගෙන මා අත තැබීය ..එහි අකුරු එතරම් පැහැදිලි නැති වුවද එහි ඇතැම් අකුරු කියවා ගැනිමට හැකි මට්ටමේ විය ...

මං ඉස්සර පාවිච්චි කරපු එක ..... ඉස්සර නම් ඔකට වැඩ නැති වෙලාවක් නෑ....දැන් ඔකෙන් කාට වැඩක් තියෙයි ද ?

                                                  ****************

ඊළඟ දවස් කිහිපය අපි විසින් ප්‍රදේශයේ පාසැලක ළමුන්ට පොත් පත් ඇතුළු උපකරණ බෙදාදීමේ උත්සවයක් සංවිධානය කිරිම කල හෙයින් වඩාත් කාර්යය බහුල විය...

අපි හෙට උදෙන්ම යනවද ?එදින සවස වැඩකටයුතු කරන අතරතුර මා මිත්‍රයා ඇසිය .....

එහෙම තමයි හිතා ගෙන ඉන්නෙ ?බඩු ටික සේරම හරි නේ ?

පාසල පිහිටා තිබුණේ විසිදෙකේ වීදිය ආසන්නයේම ය,උත්සවය ඉතා ඉහළින් අවසන් කිරිමට හැකි විය,එදින වෙනදාටත් වඩා උෂ්ණාධික දිනයක් විය,විටින් විට ලෙන්සුව ගෙන මුහුණ පිස දැම්ම ද,ශරීරය දහදියෙන් තෙත්ව තිබිණ.....මුහුණ දොවා ගැනිමට මිදුලේ කොනක තිබු කරාමයක් වෙත ගිය මා දුටු දෙය නැවත නැවතත් දෙස බැලිය .... වෙන්න බෑ මා මටම මුමුණා ගතිමි ....එහෙම වෙන්නෙ කොහොමද?

යන්න අදහසක් නෑ වගෙයි? මා මිත්‍රයන් පිටව යෑමට සුදානම්න් පෙළ ගැසි මා එනතුරු බලා හිදුණු පෙනිණ...

අර පිස්සු ප්‍රින්සිපල් ජීවත් වෙන්නෙ කොහෙද?,මා මිත්‍රයාගෙන් ඇසීය ....

හ්ම්ම්...මං දන්න තරමින් මේ විසිදෙකේ ලේන් එකේ කොනට වෙන්න අතැරලා දාලා තියෙන ගොඩනැගිලි වගයක් තියෙනවා එහේ තමයි,ඇයි මොකද ඒ මනුස්සයා ගැන මේ උනන්දුවක්?උඹට පින්තූර කෑලි ටිකක් ගන්න ඕන වෙලා ද ???

එහෙම දෙයක් නෙවෙයි ..........

                                                      **************

උදෑසනින් අවදිව ගමන් ආරම්භ කළේ විසිදෙකේ වීදියේහි කෙළවරට වන්නට පිහිටි අත්හැර දැමු ගොඩනැගිලි අතර ඒ පිස්සු ප්‍රින්සිපල් සොයන අටියෙනි...නමුත් යන අතර මගදීම ඔහුව මුණ ගැසිණ...ඔහු කඩවල් හිමියෙක් සමග යම් කථාවක ය.......

මගේ ගාන මීට වඩා වැඩි වෙන්න ඕන ....??

නෑ ..තමුසේ දුන්න බඩු වලට හරි ගාන තමයි මේ දුන්නෙ ,ඕකත් අරන් මෙතනින් තොලොංචි වියන්,උදේම වද දෙන්න ආවා ....ටිකකින් ඔහු බලාපොරොත්තු කඩවූ මුහුණින් කඩයෙන් පිටතට පැමිණිය අතර මා දැක වෙනදා මෙන්ම කහ පැහැති දත් අතරින් පතර නැති මුව පෙන්වා සිනාසීය ...

මහත්මයා මේ පැත්තෙ ?

ඔව් ...එන්න හිතුණා පොඩ්ඩක් ........

මං දැන් නම් වැඩක් මහත්මයා,මං විකුණුව කඩදාසි බෑග් ටිකේ සල්ලි එකතු කර ගන්න ඕනෑ ...... නැතන්ං පස්සෙ කඩවලින් සල්ලි දෙන්නෙ නෑ ...

එදිනම දහවල් විසිදේකේ විදියට ගියේ හිතේ තිබුණු කුතුහලය නිසාවෙනි,අවසානයෙ දී පිස්සු ප්‍රින්සිපල් සොයා ගත හැකි විය.....මා නැවත දුටු දෙයින් ඇතිවුණු හෑගිම මට ද තේරුම් ගැනිම අපහසු විය.ඔහු දොර පළුවක් මත වෙව්ලන්න දෑතින් හිගන කොලු කෙල්ලන් රෑනකට අකුරු උගන්වයි .....වචන එතරම්ම හොදින් උච්චාරානයක් නොවීය ...මා නිහඩව බලා  සිටි අතර ඔහු වයස සමඟ සැසඳීමේ දී ඉගැන්විමේ හැකියාව පුදුමාකාර බව හැගින....මඳ වේලාවකින් ඔහු මා දුටු අතර  මා උන් ස්ථානයට පැමිණියේය...

මහත්මයා මොකද මෙහෙ කරන්නෙ ??

මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?කට ඇර සිනා සුණු ඔහු ...

මොනවා ගැනද කතා කරන්න තියෙන්නෙ මාත් එක්ක ??

අර ලේන් එක පටන් ගන්න හරියේ තියෙන ඉස්කෝලෙ ගැන....

මං මොනවා කතා කරන්න ද මහත්මයා ඒ ඉස්කෝලෙ ගැන ???

මං එහෙට ගිය වෙලාවක දැක්කා අර එදා මට පෙන්නපු සීල් එකේ තිබුණ නමින් කෙනෙක් තමයි ඒ ඉඩමයි ගොඩනැගිලි කිහිපයකුයි පිනට දීලා තියෙන්නෙ ඉස්කෝලෙ පටන් ගන්න ..... ඔහු ගේ මුහුණ ප්‍රීතිමත් බවක් සමග සැඟවුණු හැඟීම් වලින් පිරි යනු මා දුටිමි ........

ඔව්.... ඒ සෑහෙන කාලයකට කලින් .....

ඒ කියන්නෙ සර් තමයි ඉස්කෝලෙට ඉඩම දුන්න සිරිල් කේ වික්‍රමසිංහ විදුහල්පති තුමා .....

ඒ වගේ නමක් තමයි මට තිබුණේ...දැන් නමත් අමතකයි ....ඔහු සිනා විය ...අවුල් වූ කොණ්ඩය තවත් අතින් අවුල් කර ගන්නා ගමන්ම .......

එහෙම නම් ඇයි සර් මෙහෙම ඉන්නෙ ?සර්ට නෑයෝ කවුරුත් නැති ද ?

ඔහු නැවැතත් කොණ්ඩය අතගාමින්  කල්පනා කළේය .....වැඩක් නෑ මහත්මයා දැන් ඔවා මගේන් ඇහුවා කියලා .....දැන් මහත්මයා යන්න පස්සෙ දවසක අපි කතා කරමු .......

පසුදින හදිසි උවමනාවක් සදහා ගමට ඒමට සිදුවිය,නැවත බෝඩිමට යා හැකි වුයේ මාසකට පමණ පසුවය...නැවැත ගොස් පිස්සු ප්‍රින්සිපල් ගැන සොයා බලන විට ඔහු මා බොඩිමෙන් පිට වී සතියකින් පමණ පසු මියගොස් ය...ඔහු සමඟ ඔහුගේ කතාව ද වැළලි  ඇත ....

ඔව් ........මේ මනුස්සයා පිස්සු ප්‍රින්සිපල් කෙනෙක්ම තමයි ..............

27 June, 2014

හිරමන සමඟ සති පොළෙහි සවාරි


මා ඉතා කුඩා කාලයේ මව සමඟ ඉරු දින සති පොළට යෑම ඉතාම ප්‍රිය කලෙමි ... ඒ විශේෂයෙන්ම බූන්දි හෝ වෙනත් කෑම වර්ගයක් මව මා හට අරන් දෙන නිසාවෙනි ..වෙනත් දිනයහි පොළ පැවැතුණ ද ඉරු දින පොළට මව යෑම සිරිතක්ව තිබිණ.විශේෂයෙන් ඇයට සතියේ නිවාඩු දිනය ඉරු දිනය විම ද මේ සදහා බල පෑවාය ...බොහෝ දිනයන්හි මව මා පොළට රැගෙන යනු වෙනුවට ආච්චි අම්මා සමඟ ඇය ගේ නිවසේ තබා යයි.එ ඇයට පොළ තුළ  දි බඩුමලු හා මා රැගෙන යෑමට තිබු අපහසුතාවය නිසා වන්නට ඇත.එනමුත් මව සමඟ පොළේහි යෑමෙන් ලැබෙන දෑ නිසා පොළේ යෑමට මා ඉතා ප්‍රිය කළා ය...

එසේ යන බොහෝ දිනයහි පොළට ඇතුළු වන දොරටුව අසලම සිටි රැවුල තරමක් වවා ගත්,සෑම දිනම නිල් කොටු සරමක් හා විවිධ මල් කැටයම් ඇති සුදු අත් දිග කමිසයකින් සැරසුණු මුස්ලිම් වෙළෙන්දා ගෙන් මව මා හට යම් පැණිරස කෑමක් අරන් දිම ඇගේ සිරිත විය,ඔහු මා ඇමතුවෙ පුංචි මහත්තයා යනුවෙනි.ඔහු පියාව දැන හැදිණ ගෙන සිටි පුද්ගලයෙකු නිසා බොහෝ විට ඉල්ලන ප්‍රමාණයට වඩා යමක් ලැබිණ.එසේ ලැබෙන්නෙ බොහෝ වෙලාවට රතු පැහැති බූන්දි හෝ මොටයි ලෙස හැදින්වෙන සීනි උණු කොට සාදන ලද කෑම වර්ග වලින් එකක් ය.බූන්දි හැන්දෙන් එකක් රුපියල් පහක් පමණ විය.මොටයි නම් තිබුණේ කූඩා පොලිතින් උර තුළ හුළං නොවදින ලෙස ගැට ගසා ය.එවා කුඩා මලු වශයෙන් තිබු අතර මල්ලක් රුපියල් තුනක් පමණ විය.මා මොටයි කෑමට එතරම් ප්‍රියක් නොදැක්වූයේ එවා කටෙහි උඩු තල්ල කොටසේ ඇලෙන නිසාත්,අතින් තද වූ විට මල්ල තුළ ඇත්තෙ බූල්ටො ටෝෆි  වැනි කොටසක් පමණක් නිසාවෙනි .....එවැනි මල්ලක් ලැබුණු පසු අම්මා විසින් අවශ්‍ය බඩු රැගෙන පොළෙන් පිටවන තුරු අම්මා පසුපස යන අතරතුර එකින් එක ගෙන රස බැලිම තරම් විනෝදජනක දෙයක් පොළ තුළ මා හට නොමැති තරම් ය..බූන්දියක් ගෙන දෙකට කැඩු විට මැදින් බේරෙන පැණි නිසා හා කටට එන කෙළ බේරිම නිසා කට වටේ පැල්ලම් හටගනි,අම්මා විටින් විට මා දෙසට නෑමි බඩු මල්ල සමඟ අතේ ඇති ලේන්සුවෙන් නිතර මාගේ මුහුණ පිස දමයි ...

මව සති පොළේන් බොහෝ විට ගන්නා බඩු වර්ග කිහිපයක් හා එසේ ගන්නෙ එකම වෙළෙන්දා ගෙන් බව මා දැන සිටි අතර ඔවුන් පොළෙහි සිටි ස්ථාන ගැන ද මා හට යම් අවබෝධයක් තිබිණ.මව ගන්නා බඩුබාහිරාදිය අතර අල,කැරට්,බෝංචි,ලික්ස් වැනි උඩරට එළවළු වර්ග තිබූ අතර ඇතැම් දිනයහි සබන් පෙට්ටියක්,හැදි වර්ග ආදිය මිලට ගනියි.. විශේෂයෙන්ම කරවල වෙළෙන්දා සිටියේ පොළෙහි අවසාන පැත්තට වන්නටය,එම නිසා බොහෝ විට එළවළු ගැනිමට මවට මතක් වුව ද කරවල වෙළෙන්දාව අමතකව යයි.නමුත් මා කරවල කෑමට ප්‍රිය කරන බැවින් ඒ පිළිබඳව මතක් කර දීම මා නිතර කළ කාර්‍යයක් විය.කරවල වෙළෙන්දා සිටි තැනට මද දුරකින් සිටියේ මාළු වෙළෙන්දන් ය.බොහෝ විට අම්මා පොළෙන් මාළු,මස් ආදිය මිලදී ගන්නෙ නැත.නමුත් මාළු වෙළෙන්දන් ගෙන් බොහෝ දෙනෙක් මා දැන හැදිණ ගත් අය විය,ඒ මාළු ගෙන එන පෙට්ටි වල තිබෙන අයිස් කැබැලි ඉල්ලා ගැනිම නිසා ය.එම ක්‍රියාවට මව තදින්ම විරුද්ධ වුවත් මාළු වෙළෙන්දන් මා හට අයිස් කැබැලි ලබා දෙයි....එවා ගෙන එන්නෙ මුහුදෙන් බව මා සීතිය....එයට ප්‍රධාන හේතුව පාසලේ කියා දුන් මුහුදේ පාවෙන විශාල අයිස් කැට මේසේ මුහුදු ගොස් ඔවුන් රැගෙන එනවා යන්න ය..එසේ ගන්නා අයිස් කැටය දිය වන තුරුම අත්ලෙහි ගුලිකොට තබා ගනි.අවසානයේ අත්ල හිරි  වැටෙන අතර ඇගිලි තුඩු රත් පැහැයට හැරෙයි....

ඉදහිට දිනයන් දි මවා මා හට පොළෙන් විවිධ කුඩා සෙල්ලම් බඩු රැගෙන දෙනු ලබයි.නමුත් මා කිසි දිනෙක මවගෙන් එවැනි දෑ ඉල්ලා කරදර කර නැත.මන්ද එවැනි සෙල්ලම් බඩු වලින් කල හැකි සෙල්ලම් ගැන මා දැන සිටියේ නැත.මා සෙල්ලම් කියා කළේ උදැල්ලක් ගෙන නිවස වටා වළවල් හෑරිම හා වැසි දිනයක් නම් උල්දිය වතුර පාරවල් හරස් කොට බැමි බැද පැපොල් බට හෝ වෙනත් බට යොදා මිදුල පුරා වෙලි සකස් කිරිම ය.නමුත් ඇය මා බූන්දි හෝ වෙන යම් කෑමක සිර වී සිටින නිසා ඇය කැමැති සෙල්ලම් බඩුවක් මා වෙත ලබා දෙයි.

බොහෝ විට පොළ තුළදි මව  සමඟ සේවය කරනා ගුරුවරියන් මුණ ගැසෙයි.එවැනි අවස්ථා නිසා බොහෝ විට පොළ තුළ ඇති මිහිරියාව බිඳී යයි.මන්ද ඔවුන් මා වඩා ගනි,හිස පිරිමදි ,මුහුණ සිඹිම වැනි දේ කරයි.මිස් දැන් පුතාට වයස කීය ද ...ආ ...දැන් ලොකු කොල්ලෙක් නේ...අපි බලන්න එනකොට මේන් මෙච්චර ඇති..වැනි දේ මා නිතර අසන වදන් පෙළක් විය...

තවත් එක් ඉරු දිනක් උදා වී තිබිණ එදින යම් හේතුවක් නිසාවෙන් පොළෙට බූන්දි වෙළෙන්දා පැමිණ නැත.එදින පොළෙහි ඇවිදිම ඉතාම වෙහෙසකර කටයුත්තක් විය.මව ද වෙනදාට වඩා වැඩි වෙලාවක් භාණ්ඩ මිලදි ගැනිමට වැය කරනවා යන්න මගේ හැඟීම විය.එදින මා සිටියේ දැඩි අමනාපයෙන් බව මවට දැනෙන්නට ඇත.ඇය මා හට සෙල්ලම් බඩුවක් රැගෙන දීම සදහා පොළෙහි දකුණු පස දොරටුව දෙසට මා වඩාගෙනම රැගෙන ගියාය.මා එක් වරම දුටු දෙයින් සිත කුල්මත්ව ගියේ නොදැනුවමය.සෙල්ලම් බඩු තිබු තැනට වම් පසින් සිටියේ කැති,පිහි,දෑ කෑති ආදිය තබාගෙන සිටින කම්මල් ගුණපාලය.ඔහු අපේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කම්මල්කරුවෙක් විය.ඔහු විවිධ ප්‍රමාණයේ පිහි වර්ග,මූකලන් කැති,පොරෝ තල,කුරහන් පිහි,දෑ කැති ආදිය තබාගෙන සිටි අතර ඒ අතර මා කිසිම දිනෙක දැක නැති භාණ්ඩයක් විය.මා මවගෙන් විමසා සිටියේ ඒ මොකක්ද යන්න ය,ඈ කිවේ එය හිරමණයක් බව නමුත් මා කිසි දිනෙක එවැනි හිරමණ දැක නැත.එය අමුතුම ආකාරයේ භාණ්ඩයක් විය.මා හට එය මිල දී ගැනිමට කැමැත්තක් ඇති වුයේ නිරායාසයෙනි...එහි මිල රුපියල් හැටක් පමණ විය.එ දවස මව සතියකට නිවසට අවශ්‍ය භාණ්ඩ මිල දී ගත්තෙ රුපියල් තුන්සියයක් වැනි මුදලක් වැයකොට බව මා දැන සිටි නමුත් මා හට හිරමණය මිල දී ගැනිමේ අසාව වැඩි වෙමින් බුර බුරා නැගිණ.....මා හිරමනය අතින් ගෙන බැලිමි,එය කළු ලැකර් වලින් ආලේපිත එකක් විය.මවට මා කියා සිටියේ මෙම හිරමනය මට අවශ්‍ය ය බවය.මා හිරමණයක් අවශ්‍ය බව කිම කම්මල් ගුණපාල ගේ ද සිනාහවට හෙතුවක් වුයේ කෙසේද යන්න මා නොදන්නෙමි.
 
මා හිරමනය ගෙන එය අතින් වටයක් කරකවා බැලිය,එය මා කිසි දිනෙක දැක නොමැති අපූරුම දෙයක් විය.එය සදා තිබුණේ පාපැදියක පැටලයේ මැද කොටසට යකඩ කොටස් පෑස්සීමෙන් ය.එය මිලදී ගත් මා නිවසට ආවේ මහත් වු උද්යෝගයෙන් ය.ආ විගස මවට පොල් ගා දිමට මා හිරමනය ගෙන කුස්සියට ගිය මුත් එවැනි හිරමනයක් සවි කරන්නට මේසයක් කුස්සිය තුළ නොවිය,තිබුණේ කොස් පිට පළුවක් බීමට වල දැමු  දඩු ලි උඩ තබා ය.සවස තාත්තා ආ පසු පිට පලුව යටින් පිහියක අධාරයෙන් කට්ටයක් සකස් කොට එහි හිරමනය සවි කෙරිණ.මගේ හිරමණ රාජයා කුස්සියේ බැබැලෙමින් තිබිණ මා විටින් විට අවුත් හිරමණය කරකවා බෑලිය.එය හරිම අපූරු ය,නිතරම මව ගෙන් පොල් බෑයක් ගෙන එය හෙමින් හිරමනයේ තලයට තබා කරකවයි,කුඩා පොල් තීරු,කැරලි කොණ්ඩා කොට මෙන් හිරමනය යටින් තැබු පිගානට එක් වෙයි.මා එයින් ටිකක් ගෙන කටේ දමාගෙන හපයි.මගේ අලුත් හිරමණ රාජයා නිසා කලින් සිටි එක කොටෙන් කැපු දෙපැත්තට දිග හරින හිරමණයට වැඩ නැති විය.

දිනක් රාත්‍රියේ කුස්සියේ තිබු කුප්පි ලාම්පුව පුසා පෙරලිම නිසා ගින්නක් හටගෙන තිබිණ.හිරමනය තිබු තැනට ඉහලින් වහලයට ලණු දෙකක් ආධාරයෙන් ගැට ගසා තිබුණු  ලැල්ල ගින්න නිසා හිරමනය උඩඩ වැටි ඇත.මා උදෑසන නැගිට බලන විට හිරමනය කැබැලි දෙක තුනකට කැඩි වෙන්ව ගොස් තිබිණ අම්මා එය අනික් ගින්නෙන් පිලිස්සුණු දෑ සමග මගේ හිරමනයේ කොටස් ද කුණු ගොඩඩ එක කොට ඇත.මා හිරමනයේ කැඩුණු කොටස් ගෙන පියා සොයාගෙන ගියේ නැවැත හිරමනය සදා ගැනිමේ අටියෙනි,නමුත් එය සාර්ථක  නොවීය.....මා හිරමනයේ කොටස් ටික කඩ්බොඩ් පෙට්ටියකට දමා පරිස්සමින් විදුරූ භාජන තැබූ කැබිනට්ටුවෙ පහළ කොටසින් තැබිය ....

වසර පහලවකට පසු නැවත සති පොළට ගොඩ වැදුණේ අවුරුදු කාලයට අවශ්‍ය එළවළු මීලදි ගැනිම සදහා ය.එ අතර මා දැක්කෙ විශාල සෙල්ලම් බඩු ගොඩට එහායින් සිටින කැති තල,පොරෝ තල විකුණන වෙළෙන්දා ය,අද සිටින්නෙ ගුනපාල නොවෙය,ඔහු ගේ පුත්‍රයා වන අතර ගුණපාල මිය ගොස් දැනට වසර කිහිපයක් වන බව මා හට මතකය.අද ගුණපාල ගේ පුතු ළඟ හිරමන විකිණීමට තබා නොමැත.මා ගුණපාල ගේ පුත්‍රයා සමග ආගිය තොරතුරු විමසන අතරතුර කුඩා කොලු ගැටයෙකු අවුත් තම මවට පෙරැත්ත කළේ කුඩා යකඩ වංගෙඩියක් අරන් දෙන ලෙසටය...අවට සිටි අය උපහාසයෙන් බැලුවද ..මා අතීත මතක පිරැවු මළු දැතින් ගෙන සති පොළෙන් එළියට ආවෙමි....


ප.ලි
කලින් ලිවු කතා අතරින්
http://sahodarage.blogspot.com/2014/03/blog-post_7595.html

http://sahodarage.blogspot.com/2014/01/blog-post_27.html

ලින්කු එක් කිරිමට මේ ක්‍රමය භාවිතා කරන්න

<a href="LINK HERE"> WORDS HERE</a>



22 June, 2014

සිරි ගේ කතාව..... (උපහාරයක් වේවා !)

සිරි ගෙදර ගොම මැටි පිරියම් කර ඇති එළිපත්ත මත වාඩි වී බර කල්පනාවක ය .....ඔහු විටෙන් විට ළග තිබු සුදු පැහැති පොලිතින් මල්ලකින් බුලත් කොළ කැල්ලක් ගෙන හපයි .....

මොකෝ ලොකු පුතේ උඹ පාර දිහෑ බලන් භාවනා කරනව ද ?මේ ගොම්මන් වෙලාවෙ......
නෑ අම්මෙ මේ පොඩි මලයා එනකන් බැලුවේ ,මං ඌව දැක්කෙ නෑ දවස් ගානකින් .... එකයි මේ බැලුවෙ .......
ඔන්න ඔය හපේ අහක් කරලා මෙන්න මේ කහට ඩිංගිත්ත බීලා හිටපන්,බලපන් උඹේ හැටි ලොකු පුතේ.....අව්වටම කර කුට්ටං වෙලා ගිහින් සරිර කුඩුව......

තම පුතු දෙස බැලු පොඩි මැණිකාට හිල්ලින,දිගු සුසුමක් හෙළූ ඈ කලකට ඉහත දි සුදු පැහැයට තිබු බවට සලකුණු ඇති ගුරු පැහැයට හැරුණු  බෙලෙක් කොප්පයක් හේ පුතුට පෑවාය.....කටේ තිබු හපය අතට ගත් ඔහු කෙළ පිඩක් මිදුලට දමා කකුලෙන් වැලි එක්කාසු කොට වැසිය ...

එක නෙවෙයි ලොකු පුතේ,ඊයේ ගිරිගෝරිස් උන්නැහැ මේ පැත්තෙ ආවා ....

හ්ම්ම්ම්ම් ,ඇයි හදිස්සියක් වත්ද මිනිහට අපිව මතක් වෙලා තියෙන්නෙ ?

නෑ ...ආවේ ,එපිටහැක්කෙ අරනොලිස් උන්නැහේ ගේ දුව උඹට යෝජනා කරගෙන ..........මං කිව්ව උඹෙන් අහලා පනියිඩයක් එවන්නම් කියලා ,උඹ මොකෝ කියන්නෙ මේ ගැන ?

මට මොන ගෑනු ද අම්මෙ ,ලොක්කිට උගන්නලා එකිව කොම හරි විශ්වවිද්‍යාලයට යවන්න ඕන,ඊළඟට පොඩි එකාව .....

කෝ ....දැන් උඹ ගියා කියලා වැඩක් උණා ද.....ඇයි බන් උඹත් එක කොරන්න බෑ කියල නේද මේ ඇවිත් හේන් කොටන්නෙ උඹේ කල්පනාව අනික් උන් දෙන්නාවත් එ ගොඩටම ඇදලා දාන්න ද ?

සිරි ගේ උගුර හරහා  විශාල ලෝහ ගුලියක් යන්නාක් මෙන් විය,ඉහළට ගත් හුස්ම පපුව ඇතුළතින් තද විය ....තව පවුලේ කිසිවෙක් නොදත් ඔහු ගේ අතීතය,තම මව කියනා කතාව ද සත්‍යයක් නැතුවාම නොවේ,සිරිට දැනට වසරක පමණ පෙර  අතීතයක් සිහි විය,අනෝමා හා ගෙවුණු දවස්,කල කී වැඩ යහළු මිත්‍රාදින් .....එකින් එක පෙළින් පෙළ ගැසි මතකාවර්ජනය වන්නට විය.පිලට බර දී  ආයාසයෙන් නැගිට ගත් ඔහු භාගයක් ඉතුරු කල කහට කෝප්පය ඈ අත තැබීය.....

මං යනවා හංදිය පැත්තට ලොක්කිත් හොදටම පරක්කුයි වගේ,එකි ආච්චි අම්මලා ගේ දිහෑ නවතිනවා කියලා කිව්වෙත් නෑ.....මං බලන් එන්නම් ......

නිවසේ ඉදිරිපස ලණු දෙකක අධාරයෙන් හරස් අතට රෙදි දැමීමට බැද තිබු කෝටුවෙන්  කමිසයක් ගෙන ඇගේ රුවා ගත් ඔහු නිවසට මඳ දුරකින් පිහිටි තම පියා සිටි කාලයේ අතරමග වැඩ නවතා දැමු මෝඩ ගැඩොලින් කරන ලද නිවස ඉදිරිපිට නැවති බැලිය,බැද තිබූ ගඩොල් වල දිය පාසි බැදි සවස් හිරු එළියෙන් විවිධාකාර රූප මතුවී ඔහුට පෙනිණ,එවායෙන් තමා ගේ යටගිය අතීතය හා බැදි භයංකර කතා පුවත් මැවි පෙන්නට වීය........සුළු වේලාවකින් පියවී සිහිය එළඹ ගත් ඔහු කඩ පිල දෙසට පිය නැගී ය ....

ආ ....සිරි පුතේ උඹ දැක්ක කල් ,වරෙන් මෙහෙන් වාඩි ගනින් .....උඹ අර ඉඩම් කැල්ල සුද්ද කොරලා අහවර ද ?

තවම මොන .....අන්දිරිස් මාමා අපේ පොඩි එකාව දැක්ක ද ?

එකා ආන් මං දැක්කා පොල් වත්තෙ බූරු පොළේ ඉන්නවා ........අපේ පරම්පරාවේ ඒකෙක්වත් ගිය තැන් ද බොල ඕවා ....මං ඌට අවවාදයක් කරන්න ගියාම ඌ මටම පිප්පුවේ නැතෑ ......මගේ මොකෝ බන් ... මං අවා එන්ඩ .........

සීරි සිටි තැනින් වේගයෙන් නැගිට සරම කැසපොට ගසාගෙන බඩවැටිය දිගේ අඩි වේගයෙන් තබමින් යන්නට විය.......යන අතරමග ඔහු එක්වරම නතර වුයේ හුරුපුරුදු රුවක් දුටු නිසාය.......ලොකු නංගි ,ඔහු ගේ හදවත යකා ගේ කම්මල මෙන් විය ......ලොකු නංගි තවත් කොලු ගැටයෙකු හා රබර් වත්තෙ අසල මුකුළු කරමින් සිටි .........හිතට නැගි ආවේගය ගුලි කර ගත් සිරි මුවින් කිසිත් නොදොඩා අසල තිබූ රබර් ගසක් මුල වාඩි විය.....ඔහු ගමට ආවේ මෙවැනි දකින්න සිතාගෙන නොවේ....ඔහුට අනෝමා සිහියට නැඟිණ .......

අපි කසාද බඳිමු සිරි ,ඔයා ඉන්න එන්න අපේ ගෙදර .....අපේ පවුලේ කියලා මං ඇර වෙන කවුරුත් නෑනේ ..................

අනෝමා...... අපේ ගෙදර තත්වේ ඔයා නොදන්නවා වගේ කතා කරන්න එපා ..........තව පොඩි උන් දෙන්නෙක් ඉන්නවා මං බලන්න ඕන උන් දෙන්නා ගැනත් ................

අම්මා ඉන්නවා නේ සිරි ඒ ගැන බලා ගන්න,අපි පුළුවන් විදියට උදව් කරමු ...............

එයාලා  බර තියෙන්නෙ දැන් මං ගාව ............

එහෙනං ඔයා ඔය අවදානම් වැඩ නවත්වන්න .....එවා වැඩක් නෑ ....ඔයා ජොබ් එකක් හොයා ගන්න ..........

ඔයාට මේවා තේරුම් කරන්න මට උවමනා නෑ .............. ඔයටත් ඕන මං අර ජිනේ වගේ ඉන්නවා දකින්න ද ?

ඇයි ජීනේට දැන් මක් වෙල ද තියෙන්නෙ ?

ඌට මොකක් වත් වෙලා නෑ,යමුනා ගහන ගහන පදෙට නටනවා ඇරෙන්න,ඌ කරන වැඩ නිසා ලගදිම අමාරුවේ වැටෙනවා ....මට එහෙම වෙන්න ඕන නෑ .............

සිරි සැමදා යමක් තීරණය කළා නම් ඒ ස්වකීය අභිමතය පරිදි ය....ඔහු කිසි විටෙක එම තීරණ ගැන නම්‍යශීලී බවක් නොපෙන් වීය .......

මං යනවා ...ඔයා එනව ද ?

ඔයාට බැරි ද තව පැය භාගයක් මාත් එක්ක මෙතන ඉදලා යන්න ?......

එදා ඔහුට අනෝමා හමුවූ අවසන් මොහොත වීය ....එදිනම ඔහු සැමට හොරෙන් ගමට පැන එමට සිදු විය .............පසුව ඔහු ගමේම නතර වුයේ නංගි සහ මල්ලි ගේ අධ්‍යාපනය ගැන මෙන්ම පවුලේ ඉදිරිය ගැන සිතාය.පියා මිය යාමට මත්තෙන් සිරි පියාට පොරොන්දු වුයේ පවුලේ ඉදිරිය ගැන වගකීම තමන් ගන්නා බවට ය ....

ලොකු පුතේ ...උඹ තමයි මං නැති දවසක ගෙදර වැඩ මුල් වෙලා කරන්න ඕන ....පොඩි උන් දෙන්නා ගැන බලපන්,උඹ දැන් දැනුම් තේරුම් තියෙන එකෙක් .........

තාත්තා මේ මොනව ද කියන්නෙ ?

පියාව එක්වරම පරලොව ගියේ ගඟේ ගිලෙමින් ය....බොහෝ දෙනා කිවේ පියා සමඟ වැලි තොටුපොළට ආරෝවක් තිබු සෙතං ගේ මස්සිනා වූ අරනොරිස් දියේ ගිල්වා ඇති බවයි.....නමුත් මවට එ ගැන සොයා බැලිමට තරම් වුවමාවක් නොතිබුණ ..... රබර් ගස මුලින් නැගිට සිටි ඔහු හෙමින් කදු ගැටේ මැදින් අතුරු පාරක් හරහා ගොස් කනත්ත මැදින් නිවස දෙසට ගියේ  ය.....

අම්මේ....අම්මෙ ....

මොකෝ ලොකු පුතේ ,මේ ඉහින් කණින් දාඩිය පෙරා ගෙන ?

මං යනකොට අන්න ලොකු නංගි රබර් වත්ත ගාව කොල්ලෙක් එක්ක මුකුළු කර කර ඉන්නවා,අද ගෙදර ආවාම අහන්න,ගමේ උන් මොනවා නොකියයි ද මෙවා දැක්කාම .....

ආ.................ලොක්කි මට ඒ දරුවා ගැන කිව්වා ....එහා ගමේ සෙතං ගොයියා ගේ ලොකු ළමයා නේ .....

මොකක් ?,අම්මා මේ ගැන දැනගෙන හිටිය ද?

ඇයි මං ඔවා උඹට කියන්න උඹ මේ ගෙදර මහ මිනිහා ද බොල ?ඇය සිරි දෙස කෝපයෙන් බැලිය...උඹල ගේ මහ එකත් ඉන්නකන්ම කරේ මාව හදන්න ආපු එක දැන් උඹ........

ලොක්කි තවම පොඩි එකි තවම ඉස්කෝලෙ යන වයසේ .....සිරි බිමට බර වූ මුහුණින් යුතුව පැවැසිය ...

උඹේ පැහිච්ච කම තියා ගනින් උඹට.......මගේ ඉහ නිකට පැහැණු ගේ නිකමට නෙවෙයි...අනික මං උඹලා ගේ අම්මා මේ ගෙදර තීරණ ගන්නෙ මං ,උඹ මට උපදේස් දෙන්න එන්න ඕන නෑ .......

සිරි ....නැවැතත් නිවසේ එක් පසකින් පිහිටි වෙල් යාය මැදින් ප්‍රධාන මාර්ගය දෙසට යනු පෙනිණ.....රෑ මැදියම ලං වනවාත් සමඟ කිසිවෙකු තම දොරට තට්ටු කරනු ඇසි ....

කවුද .....මේ වෙලාවෙ...

මං සිරි ....අම්මා දොර අරින්න .....

මොහොතකින් දොර ඇරිණ ....සිරි සිටියේ තනියම නොවේ තවත් කොණ්ඩා,රැවුල් අපිළිවෙළට වැවුණු කොල්ලන් කිහිප දෙනෙකු සමඟ ය....

අම්මෙ ..මේ මගේ යාළුවෝ ටිකක් .....කෝ...කෝ .. ලොක්කි යි ..පොඩි මල්ලියි ...

උන් දෙන්නා දැන් නිදා ගත්තා විතරයි .....මොකටද

හ්ම්ම්ම් ...කමක් නෑ ......අම්මා රෑට ඉව්වා ද හොදටම බඩගිනි බත් කටක් කන්න ඕන ...

උඹට බත් ඉතුරු කරේ නෑ ...මං හිතුවෙ උඹ හේනට ගියා කියලයි....

හ්ම්ම්ම් ....එහෙනං කමක් නෑ ....මං මේ යාළුවෝ එක්ක පොඩ් ගමනක් ගිහින් එන්නම් ,අම්මා දොර වහලා නිදා ගන්න .......

සිරි ගේ මුහුණ සුදුමැලිව තිබුණු අතර වචන ද පැටලෙන ගතියක් තිබිණ........රබර් වත්ත එපිට කැලෑ රොද දෙසින් කෝනෙකු ගේ හඩ ඇසින ......එදා සිරි නිවසට ගොඩ වැදුණු අවසන් මොහොත විය ........සිරි ගැන තොරතුරක් නැවත ගමට ආරංචි නොවිය .............

ප.ලි 
කමෙන්ටුවක් නොදමා ගියා කියා අහිතක් නැත ..පෞද්ගලික තෘප්තිය සඳහා ලියවු කතාවකි .....

14 June, 2014

කාලයත් සමඟ තේරුම් ( නො)ගත් ලිවිල්ල ...


පොඩි පොඩි දේවල් ගැන පොඩ්ඩක් ලියන එක මං මුලින්ම කරපු දෙයක් බයිසිකල් ගැන තව දැලි රැවුල කපපු කොල්ලො ගැන වගේම සහෝදරට ආච්චි කියලා දුන්නු කතාත් ලිව්වා...හැබැයි එහෙම ලියපු කතා ලිව්වෙ මොකක් හරි දෙයක් කියන්න,එ දේවල් බොහෝ වෙලාවට කමෙන්ටු තුල නැති වුණත් සාර්ථක වුණා.

මෙකත් එ ගොඩට යන කතාවක්,කොමත් මං ලියන්නෙ ටිකක්  අතීත කතා විතරයි වර්තමාන කතා ඉදහිට ලියනවා එහෙම වර්තමාන කතා නොලියන්නත් හෙතු තියෙනවා ..

සහෝදරට ඉගෙන ගන්න පාසැල් කිහිපයකට යන්න වුණා,එහෙම යන්නත් විවිධ හෙතු තිබුණා.එහෙම පාසැල් කිහිපයකට ගියත් මං පරණ යාළුවන්ව අමතක කරේ නෑ,මොකද මං හිතුවා මට එහෙම අමතක වෙන එකක් නෑ කියලා.

මේ ලඟ දී දවසක සහෝදරට ඉගෙන ගත්ත පාසැල් වලට අයේ යන්න පුළුවන් උනා,ඒ කාලේ නැති සැලකීම් දැන් ලැබෙන කොට හිනාත් යනවා.ඒ කතා එහෙම වුණත් මේ එන අගෝස්තුවේ උ/පෙ කරන ළමයි නම් බර වැඩක යෙදිලා හිටියා,ඒ පොඩි ඔටෝ ග්‍රාෆ් අරගෙන එවායේ පොඩියට හරි සටහනක් තියා ගන්න,තවම අපිව ඉස්කෝලෙ ඉන්න ළමයි අදුනනවා එකත් හිතට සතුටුයි,එ දවස් වල බයට කතා නොකර හිටිය අලුතේන් ඇවිත් හිටිය ළමයි පවා ඇවිත් වචනයක් දෙකක් කතා කරලා ගියා .

මට මතක් වුණා මුලින්ම මම සා/පෙ කරන්න ගිය ඉස්කොලේ ගැන,එ දවස් වලත් අපේ පංතියේ ළමයි අතර ඔය ඔටෝ ග්‍රාෆ් වල විවිධ දේ ලිවිමේ චාරිත්‍රයක් වගේ දෙයක් තිබුණා,එක අපිට කලින් සා/පෙ කරලා ගිය අයත් කලා,මුලින්ම මේ වැඩේ පටන් ගත්ත කාලයක් නම් හිතා ගන්න බෑ,අපි සා/පෙ කරන දවස් වල පංතියේ ගොඩක් අය විවිධ හැඩයේ රූප තියෙන පොත් අරන් එනවා,ඇවිත් පංතියටම දෙනවා මොනවා හරි එකේ ලියන්න කියලා,සමහරු විභාගයට සුභ පතලා නිසදස්,කවි පංති ලිව්වා තවත් සමහරු එ කාලේ කියපු කරපු කතා ලිව්වා,එවයේ ගුරුවරු පවා විවිධ සුභ පැතුම් ලියලා තිබුණා.සා/පෙ කරන කාලේ සහෝදර නම් ඔටෝ ග්‍රාෆ් එකක් ගත්තෙත් නෑ කිසිම යාළුවෙක් ගේ පොතක ලිව්වෙත් නෑ,එහෙම කරේ මං ඔටෝ ග්‍රාෆ් වල ලියන එකට දක්වපු අකමැත්ත නිසාමයි ....

කොම හරි උ/පෙ කරන්න වෙනත් ඉස්කෝලෙකට යන්න උනා,අලුත් ඉස්කෝලයක් උනාට සැහෙන පිරිසක් කලින් දන්න අදුනන අය හිටියේ.කොම හරි උ/පෙ පංතිය නිවාඩු දෙනවා කියන ආරංචිය අවා,ඔන්න අයේ පරණ විදියටම මුලින්ම  එකක් දෙකක් වුන ඔටෝ ග්‍රාෆ් පස්සෙ සියයක් විතර පංතියේ හුවමාරු වෙනවා,නමුත් වෙනදා විදියට අපේ පංතිය නිවාඩු දුන්නෙ නෑ අගෝස්තු මාසේ වෙනකම්ම පංති පැවැත්වෙන බව කිව්වා.සමහරුන් ගේ ඔටෝ ග්‍රාෆ් යතුරු දලා ලොක් කරන්න පුළුවන් එවා,තවත් එවා තිබුණා සුවද හමන එවා,සමහරු එ දවස් වල නොක නොබී එවා යේ කතා ලිව්වා,මං කරෙ ලියන්න දුන්නු පොත් වල අනික් අය ලියපු එවා කියවපු එක,ගොඩක් පොත් වල පිටු හත අටක් දිගට කතා ලියලා තිබුණා එවාගේ තිබුණේ ගොඩක් වෙලාවට යාළුවෝ එක්කාසු වෙලා කියපු කරපු දේවල් අමතක නොවන සිදුවීම් ගැන,මට ඒ වෙලාවෙත් ප්‍රශ්නක් අවා අමතක වෙන්නෙ නැත්නම් ඇයි මේ මහන්සි වෙලා ලියන්නෙ කියලා,සහෝදර ලිව්වෙ මතකය හරි නම් ඔටෝ ග්‍රාෆ් හයක විතරයි,එත් කතා ලිව්වෙ නෑ පොඩි වැකි දෙක තුනක් ලියලා යටින් ෆොන් නම්බර් එක ලිව්වා,ඇත්තටම එහෙම ලියන්නත් ඕන කමක් තිබුණේ නෑ හැබැයි ලියන්න වුණා යාළුකම රැක ගන්න,මොකද සම හරක් හිතුවෙ යාළුකම් තියෙන්නෙ කොළ අතර කියලා,මං නොලිව්වට මං ගැන එ පිටු අතර සැහෙන ලියවිලා තිබුනා.

ගොඩක් අය ඇහුව දෙයක් තමා කෝ උඹේ ඔටෝග්‍රාෆ් එක කියලා,උ/පෙ වලට ගියා කියලා එ වැඩ වලට මගේ තිබුණ අකමැත්ත අඩු වුණේ නෑ. ඔය ලිවිල්ලෙ හොදම එක තමා අවසාන පිටු කිහිපයක් වෙන් කරලා තිබුණ පිස්සු පිටුව කියන පිටු කීපය.මට නම් හිතුණෙ නිදහසේ හිතෙන දෙයක් ලියන්න වෙන් කරපු පිටු කිහිපයක් කියලා.එකේ විවිධ සිංදු කෑලි,විවිධ වැකි වගේම පොතේ අයිතිකාරයාට මඩ ප්‍රහාරත් ලියවිලා තිබුණා.එවැනි දේ මතක නම් කමෙන්ටුවක් ලෙස ලියා යන්න....

ඒ දවස් වල මං පොරට මේ ලිවිල්ල ලියන්නෙ ඇයිද කියන එක තේරුම් ගන්න අමාරු වුණ දෙයක්.නමුත් මං ප්‍රසිද්ධියේ ඒ ගැන විවේචනය කරන්න ගියේ නෑ,මොකද තේරුම් ගත්තා මං අකමැති උනාට වැඩි පිරිසක් මේ දේට කැමැති කියලා.ඒ වගේම ගොඩක් අය මේ දේවල් කරන්නෙ තමන්ට කරන්න ඕන නිසාම නෙවෙයි කියලත්.

ප.ලි 
මීට අදාළ පොස්ටු ඇත්නම් ලින්කු ඉදිරිපත් කරන්න ..


09 June, 2014

කවුද යකෝ මගේ සිංදුව කොපි කරේ .......

හාලෝ ............... හලෝ ....කොහෙන් ද මේ කතා කරන්නෙ ?
මං නම් කටින් උඹ ඇයි උඹ වෙන තැනකින් ද කතා කරන්නෙ ?
මේ දොඹයා කියන එකා ද ?
ඔව්...එකා තමයි ඇයි අවුල් ද  ?
ඈ ගස් මූසලයෝ තොට මාව අදුන ගන්න බැරිද ? 
තෝව අදුන ගන්න පෙන්න එපෑ ......
වල් මීමො මං මේ බට්ටා කතා කරන්නෙ ??තෝ මැරිල ද පෙන්න නැත්තෙ?
ආ ......මචං මං මේ උඹ ගැන මතක් කරා විතරයි ......
ආ ...එහෙම ද?සුමනා නැන්දා ගේ දුවත් එක්ක වෙන්න ඇති නේ ??
හරි..........හරි......ඇයි බන් හදිසියේ .....?උඹ කොමද මගේ නම්බර් එක හොයා ගත්තෙ ?
නම්බර් එක හොයා ගත්තෙ ද උඹේ උඩැක්කිය හම්බ වුණා අද ටවුමෙදි,උඹේ නම්බර් එක වැඩ නෑ කිව්වාම කිව්වෙ නැතෑ ,අපි දෙන්නා දැන් කපල් වෙලා ඉන්නෙ කියලා ...
ඉතිං උඹලා තව වෙන මොනව හරි කිව්වද ?
අපි මොනවා කියන්න ?මං කිව්වා අපි නම් හිතුවෙ දැන් පවුල් වෙලා දරු සුරතල් බලනවා ඇති  කියලා කිව්වා.....ඊට පස්සෙ පතිවත නැති වෙනවා වගේ උඹේ අලුත් නම්බර් එක දුන්නා .....
ආ...එක තමා දැන් තොපිට මාත් එක්ක බැණ බැණ හිටියේ ඔයා අර වල් හිපාටුවෝ එක්ක ආශ්‍රයට අයේ යන්න එපා කියලා
ඇ.....මොකක්ද යකෝ කිව්වෙ .....
එක හරි බන් ....උඹ කතා කරේ හදිසියක් ද .....
මියුසිකල් එකක් තියෙනවා අද රෑට උඹ එනව ද යන්න ??මං අනික් වුන්ටත් පණිවිඩේ කිව්වා .....
අපි නැතිව ඔවා විවෘත කරන්නෙ කවුද බන්..... මං හය වෙනකොට ඇටයලා ගේ ගෙදර ???

ඔන්න හවස අට විතර වෙනකොට අපි තිබහට බීම එකක් එහෙම බීලා ඇදුනා ඇතුලට .... ගිහින් විවෘත කටයුතු කරා බටයා ඇතුලේම කබරයා පාරක් දලා ......ඔන්න මහ සද්දෙට වැඩේ නැගලා යනවා ...සම හරක්  පොලොවේ දිග මනිනවා උඩ පනිනවා,වටේ දුවනවා,ඇබෙරෙනවා එකම විකාරයයි,එතන හිටපු ගොඩක් අය ඔය නටන තරු තෝරන තරගෙකට ආපු අය වගේ පෙනුනේ .....

ටික වෙලාවක් ඔහොම යනකොට ආරාධනා කරා නැගි එන කලා කාපාලු,කෙප්පමාණි,කෑරල සම්මාන ලාභි නැගි එන රැල්ලෙ අඩන ගායක හොටු කබරාස් ට ,ඉස්සරා ඉන්න කෙල්ලන්ට හිනා කට දා ගෙන පොර නැගලා ස්ටෙජ් එකට නැගලා අඩන්න ගත්තා හොටු කඳුළු පෙරාගෙන,බිම බදාගෙන,දිව එළියට දා ගෙන ,බලන් ඉන්න අපිට දුකයි මූ අඩන ඇඩිල්ලට,මොකක් වුණත් කොලු නාමයක් නේ ........යකෝ මෙහෙම අඩන්න පුළුවන් නම් සිංදු කියන එක නවත්වලා මළ ගෙවල් වල කුලියට අඩන්න තිබුණා මුන්ට .....

ඔන්න ඊළඟට කිව්ව විදියට හොටු කබරාස් ගේ අලුත්ම ඇඩිල්ල අඩන්න ගත්තා විතරයි මෙන්න අපේ බට්ටා හුලං ගැහිල්ල නතර කරා,නතර කරලා..........

අඩෝ...පල් හොරා .....මූකලන් බස්සා .......ඇට මීමා ....අද නම් මං උඹව තියන්නෙ නෑ ...මං උඹට එවනවා සුදු වැන් එකක් පටවාගෙන යන්න,උඹ අපේ ලොකු මාමා ගැන දන්නෙ නෑ ,කියලා මූ මර හඬ දෙනවා .....ඊළඟට කරේ කොහෙන්ද පොල්ලල් අරන් යනවා ස්ටෙජ් එක පැත්තට ......

මං පැනපු ගමන් බට්ටාව බදා ගත්තා ... බටයා කබරයා දාගෙනම පැන්නා උගේ ඇග උඩඩ,ඇටයා බිම දිගේ ඇවිත් බට්ටා ගේ කකුල් දෙක අල්ලා ගත්තා......

මොකක්ද යකෝ අවුල ....උඹ ඔය පොල්ල කෙලින් කරන් කොහෙද යන්නෙ ?
නෑ මචංලා බලපල්ලා මං අර අලුතෙන් සිංදුවක් කරා උඹලා දන්නවා නේ,

ඔව්.....ඉතිං මොකද වෙලා තියෙන්නෙ එක අහපු වුන්ට දැන් පාචනය හැදිල ද ?ලේ අතිසාරය ද?

නෑ ...හිපාටුවෝ ,අර ගස් මුසලයා මගේ සිංදුව කොපි කරලා උගේ වගේ කියනවා බොරු නම් අහලා බලපල්ලා පොඩ්ඩක් කිව්වා .......අපේ බට්ටාත් එසේ මෙසේ පොරක් නෙවෙයි ඌත් පහුගිය දවසක් සිංදු කැල්ලක් කරපු එකෙක්,එහෙම කරපු කුළුඳුල්ම එක වෙන එකෙක්ට අයිති වෙන්න දෙන්නෙ බෑනේ අපි පොඩ්ඩක් අහලා බැලුවා ....

ඇත්තනේ  බන් ...මේ උඹේ සිංදුව වගේ තමයි .....

එකනේ උඹලාට මං කිව්වෙ මේ වල් නාබ්බා කියන්නෙ මගේ සිංදුව උගේ වගේ,වරෙල්ලා යන්න මේක බෙරුමක් කර ගන්න කියලා අපි මැන්ස් ස්ටෙජ් එකෙන් බහින කොටම අල්ලා ගත්තා ......එතන එකම යුද්ධයයි ...

අඩෝ හොට්ටා උඹ මගේ සිංදුව කොපි කරා නේද ?අද මං උඹව මෙතනම සීනිගම යවනවා....හොට්ටා එකසිය ගානට බය වුණා ....සට සට ගලා වෙවුලන ගමන් මැන්ස් ඇහුවා

මල්....ලි ..ඔ..ඔ...යා ගේ සිං....සිං.....දුව මො....කක්...කක් ...ද මල්ලි ,මං තවම වෙන අයගේ සිංදු කියලා නෑ ........

උඹ බාබා දැන් උඹ කිව්වෙ අවසානේ කියලා බට්ටා පොරගේ ඇඩිල්ල අඩන්න ගත්තා පොලොව බදාගෙන ....පස් කටෙන් එකයි ....  

මං ගඟේ පනිනවා 
අම්මපා මුදේ පනිනවා 
නැත්නම් පනිනවා මයි ලිදේ 
උඹ නැතිනම් අම්මපා 
පනිනවමයි ලිදේ //
  
ඉතිං මල්ලි මගේ සිංදුව ඔක නෙවෙයි නේ,වෙන එකක් නේ කියපු හොට්ටා පොර ගේ ඇඩිල්ල අඩන්න ගත්තා ....පොලොව හොබ්බ උලා ගෙනම .....හොටු කඳුළු පෙරගෙන .......

උඹ නැත්නම් අම්මපා 
පනිනවා මහ මුහුදේ 
බැරි උනොතින් නගේ
අම්මපා පනිනවා මං ගඟේ
පනිනවා මං ලිදේ //  

මේ ඇඩිලි අහන  උන් කබරයා දාන්නෙ නැතුව බේරෙන්න කොමද කියන එකත් මාර ප්‍රශ්නයක්.....

ආ.....දොඹයා උඹම කියපන් මේ වල් හිපාටුවා මගේ සිංදුව කොපි කරලා නෙවෙයි ද මේ ?මං පොර මහ බැරෑරුම් ප්‍රශ්නෙක පැටලුණේ ...

හ්ම්ම්ම් හොට්ටො බොලාට කවුද සිංදුව ලියලා දුන්නෙ ?මං පොර දාර්ශනික පොරක් වගේ ඇහුවා ...

අන්න හරි දැන් කියපන් හොට්ටො බලන්න,උඹ මගේ සිංදුව අහලා එක කොපි කරපු කතාව ........බට්ටා පොල්ල වන වනා කිව්වා .....

පොඩ්ඩක් හිටපන් කෝ උඹ හොබ්බ දාන්නෙ නැතුව,හොට්ටො උඹ කතාව කියපන් ......ඇත්ත කිව්වෙ නැත්නම් වල් වෙවැල් ගුටි.....ඒ පාර හොට්ටා හැඟුම්බර උනා ....තනි ඇහෙන් කඳුළු පැන්නා ......

මල්ලිලා....මට හරි ආසාවක් තිබුණා ආසික්කිත චිත්‍රපටියේ සිංදුවට සිංහලෙන් සිංදුවක් කරන්න ඉතිං මං මෙලඩි එක අරන් ගිහින් කොපිකාචාර්‍යට කිව්වා වචන ටිකක් දලා දෙන්න කියලා ...ඊට පස්සේ ..

හෝව් ....හෝව් ...ඔය ඇති ,බට්ටා උඹ කියපන් දැන් උඹ කොහොමද සිංදුව හැදුවේ කියලා ......ඒ පාර බට්ටා ගේ මූණ ටිකක් ඇද වුනා ....

මචංලා උඹලා දන්නවානේ මට සිංදුවක් කරන්න මාර ඇම්මක් තිබුණා කියලා ඉතිං මං සිංදුවක් ලියා ගන්න කොපිකාචාර්‍යට ගාවට ගියා,මිනිහා තමයි මේ පද ටික දිලා කිව්වෙ මේකට අර අසික්කිත ෆිලුමේ සිංදුවේ මෙලඩිය දලා බලන්න කියලා,මමත් දලා බලනකොට මරුවට ගැලපුණා ,ඉතිං මමත් සිංදුව කරා ,ආ උඹ කියපන් මං වැරදිද ?මූ මූණ ඇඹුල් කරගෙන කිව්වා .......

දැන් වල් හිපාටුවෝ දෙන්නාගේ ඇඩිලි දෙකේ මෙලඩිය අසික්කිත ෆිලුමේ එකක්,වචන කොපිකාචාර්‍ය ලියලා තියෙන්නෙ,එකත් එකම කතාවක් වචනත් එකම වගේ .......කතාව අහන් හිටපු බටයා අයේ වතාවක් කබරයා පාරක් දැම්මා හොට්ටාගේ ඇග දිගට.....ඇටයට බැහැපූ සූර් අයේ ඇවිත් දඩාස් ගලා වැටුනා හතර ගාතේ දා ගෙන පෙරෙතයා පොලොවේ ගැහුවා වගේ  .....මං මොනවා කියන්න ද මෙතෙක් වෙලා නොතිබුණු සූර් ගතියක් එනවා වගේ දැනුනා මං එහෙම්ම බට්ටාගේ කරට හේත්තු වුණා .................... 

ප.ලි 
මෙහෙම කතාවක් ලියන්න සිතා නොතිබුණත් ලැබුණු මෙලක් නිසා අයේ  මෙහෙම ලියන්න සිතුණි..............................