27 June, 2014

හිරමන සමඟ සති පොළෙහි සවාරි


මා ඉතා කුඩා කාලයේ මව සමඟ ඉරු දින සති පොළට යෑම ඉතාම ප්‍රිය කලෙමි ... ඒ විශේෂයෙන්ම බූන්දි හෝ වෙනත් කෑම වර්ගයක් මව මා හට අරන් දෙන නිසාවෙනි ..වෙනත් දිනයහි පොළ පැවැතුණ ද ඉරු දින පොළට මව යෑම සිරිතක්ව තිබිණ.විශේෂයෙන් ඇයට සතියේ නිවාඩු දිනය ඉරු දිනය විම ද මේ සදහා බල පෑවාය ...බොහෝ දිනයන්හි මව මා පොළට රැගෙන යනු වෙනුවට ආච්චි අම්මා සමඟ ඇය ගේ නිවසේ තබා යයි.එ ඇයට පොළ තුළ  දි බඩුමලු හා මා රැගෙන යෑමට තිබු අපහසුතාවය නිසා වන්නට ඇත.එනමුත් මව සමඟ පොළේහි යෑමෙන් ලැබෙන දෑ නිසා පොළේ යෑමට මා ඉතා ප්‍රිය කළා ය...

එසේ යන බොහෝ දිනයහි පොළට ඇතුළු වන දොරටුව අසලම සිටි රැවුල තරමක් වවා ගත්,සෑම දිනම නිල් කොටු සරමක් හා විවිධ මල් කැටයම් ඇති සුදු අත් දිග කමිසයකින් සැරසුණු මුස්ලිම් වෙළෙන්දා ගෙන් මව මා හට යම් පැණිරස කෑමක් අරන් දිම ඇගේ සිරිත විය,ඔහු මා ඇමතුවෙ පුංචි මහත්තයා යනුවෙනි.ඔහු පියාව දැන හැදිණ ගෙන සිටි පුද්ගලයෙකු නිසා බොහෝ විට ඉල්ලන ප්‍රමාණයට වඩා යමක් ලැබිණ.එසේ ලැබෙන්නෙ බොහෝ වෙලාවට රතු පැහැති බූන්දි හෝ මොටයි ලෙස හැදින්වෙන සීනි උණු කොට සාදන ලද කෑම වර්ග වලින් එකක් ය.බූන්දි හැන්දෙන් එකක් රුපියල් පහක් පමණ විය.මොටයි නම් තිබුණේ කූඩා පොලිතින් උර තුළ හුළං නොවදින ලෙස ගැට ගසා ය.එවා කුඩා මලු වශයෙන් තිබු අතර මල්ලක් රුපියල් තුනක් පමණ විය.මා මොටයි කෑමට එතරම් ප්‍රියක් නොදැක්වූයේ එවා කටෙහි උඩු තල්ල කොටසේ ඇලෙන නිසාත්,අතින් තද වූ විට මල්ල තුළ ඇත්තෙ බූල්ටො ටෝෆි  වැනි කොටසක් පමණක් නිසාවෙනි .....එවැනි මල්ලක් ලැබුණු පසු අම්මා විසින් අවශ්‍ය බඩු රැගෙන පොළෙන් පිටවන තුරු අම්මා පසුපස යන අතරතුර එකින් එක ගෙන රස බැලිම තරම් විනෝදජනක දෙයක් පොළ තුළ මා හට නොමැති තරම් ය..බූන්දියක් ගෙන දෙකට කැඩු විට මැදින් බේරෙන පැණි නිසා හා කටට එන කෙළ බේරිම නිසා කට වටේ පැල්ලම් හටගනි,අම්මා විටින් විට මා දෙසට නෑමි බඩු මල්ල සමඟ අතේ ඇති ලේන්සුවෙන් නිතර මාගේ මුහුණ පිස දමයි ...

මව සති පොළේන් බොහෝ විට ගන්නා බඩු වර්ග කිහිපයක් හා එසේ ගන්නෙ එකම වෙළෙන්දා ගෙන් බව මා දැන සිටි අතර ඔවුන් පොළෙහි සිටි ස්ථාන ගැන ද මා හට යම් අවබෝධයක් තිබිණ.මව ගන්නා බඩුබාහිරාදිය අතර අල,කැරට්,බෝංචි,ලික්ස් වැනි උඩරට එළවළු වර්ග තිබූ අතර ඇතැම් දිනයහි සබන් පෙට්ටියක්,හැදි වර්ග ආදිය මිලට ගනියි.. විශේෂයෙන්ම කරවල වෙළෙන්දා සිටියේ පොළෙහි අවසාන පැත්තට වන්නටය,එම නිසා බොහෝ විට එළවළු ගැනිමට මවට මතක් වුව ද කරවල වෙළෙන්දාව අමතකව යයි.නමුත් මා කරවල කෑමට ප්‍රිය කරන බැවින් ඒ පිළිබඳව මතක් කර දීම මා නිතර කළ කාර්‍යයක් විය.කරවල වෙළෙන්දා සිටි තැනට මද දුරකින් සිටියේ මාළු වෙළෙන්දන් ය.බොහෝ විට අම්මා පොළෙන් මාළු,මස් ආදිය මිලදී ගන්නෙ නැත.නමුත් මාළු වෙළෙන්දන් ගෙන් බොහෝ දෙනෙක් මා දැන හැදිණ ගත් අය විය,ඒ මාළු ගෙන එන පෙට්ටි වල තිබෙන අයිස් කැබැලි ඉල්ලා ගැනිම නිසා ය.එම ක්‍රියාවට මව තදින්ම විරුද්ධ වුවත් මාළු වෙළෙන්දන් මා හට අයිස් කැබැලි ලබා දෙයි....එවා ගෙන එන්නෙ මුහුදෙන් බව මා සීතිය....එයට ප්‍රධාන හේතුව පාසලේ කියා දුන් මුහුදේ පාවෙන විශාල අයිස් කැට මේසේ මුහුදු ගොස් ඔවුන් රැගෙන එනවා යන්න ය..එසේ ගන්නා අයිස් කැටය දිය වන තුරුම අත්ලෙහි ගුලිකොට තබා ගනි.අවසානයේ අත්ල හිරි  වැටෙන අතර ඇගිලි තුඩු රත් පැහැයට හැරෙයි....

ඉදහිට දිනයන් දි මවා මා හට පොළෙන් විවිධ කුඩා සෙල්ලම් බඩු රැගෙන දෙනු ලබයි.නමුත් මා කිසි දිනෙක මවගෙන් එවැනි දෑ ඉල්ලා කරදර කර නැත.මන්ද එවැනි සෙල්ලම් බඩු වලින් කල හැකි සෙල්ලම් ගැන මා දැන සිටියේ නැත.මා සෙල්ලම් කියා කළේ උදැල්ලක් ගෙන නිවස වටා වළවල් හෑරිම හා වැසි දිනයක් නම් උල්දිය වතුර පාරවල් හරස් කොට බැමි බැද පැපොල් බට හෝ වෙනත් බට යොදා මිදුල පුරා වෙලි සකස් කිරිම ය.නමුත් ඇය මා බූන්දි හෝ වෙන යම් කෑමක සිර වී සිටින නිසා ඇය කැමැති සෙල්ලම් බඩුවක් මා වෙත ලබා දෙයි.

බොහෝ විට පොළ තුළදි මව  සමඟ සේවය කරනා ගුරුවරියන් මුණ ගැසෙයි.එවැනි අවස්ථා නිසා බොහෝ විට පොළ තුළ ඇති මිහිරියාව බිඳී යයි.මන්ද ඔවුන් මා වඩා ගනි,හිස පිරිමදි ,මුහුණ සිඹිම වැනි දේ කරයි.මිස් දැන් පුතාට වයස කීය ද ...ආ ...දැන් ලොකු කොල්ලෙක් නේ...අපි බලන්න එනකොට මේන් මෙච්චර ඇති..වැනි දේ මා නිතර අසන වදන් පෙළක් විය...

තවත් එක් ඉරු දිනක් උදා වී තිබිණ එදින යම් හේතුවක් නිසාවෙන් පොළෙට බූන්දි වෙළෙන්දා පැමිණ නැත.එදින පොළෙහි ඇවිදිම ඉතාම වෙහෙසකර කටයුත්තක් විය.මව ද වෙනදාට වඩා වැඩි වෙලාවක් භාණ්ඩ මිලදි ගැනිමට වැය කරනවා යන්න මගේ හැඟීම විය.එදින මා සිටියේ දැඩි අමනාපයෙන් බව මවට දැනෙන්නට ඇත.ඇය මා හට සෙල්ලම් බඩුවක් රැගෙන දීම සදහා පොළෙහි දකුණු පස දොරටුව දෙසට මා වඩාගෙනම රැගෙන ගියාය.මා එක් වරම දුටු දෙයින් සිත කුල්මත්ව ගියේ නොදැනුවමය.සෙල්ලම් බඩු තිබු තැනට වම් පසින් සිටියේ කැති,පිහි,දෑ කෑති ආදිය තබාගෙන සිටින කම්මල් ගුණපාලය.ඔහු අපේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කම්මල්කරුවෙක් විය.ඔහු විවිධ ප්‍රමාණයේ පිහි වර්ග,මූකලන් කැති,පොරෝ තල,කුරහන් පිහි,දෑ කැති ආදිය තබාගෙන සිටි අතර ඒ අතර මා කිසිම දිනෙක දැක නැති භාණ්ඩයක් විය.මා මවගෙන් විමසා සිටියේ ඒ මොකක්ද යන්න ය,ඈ කිවේ එය හිරමණයක් බව නමුත් මා කිසි දිනෙක එවැනි හිරමණ දැක නැත.එය අමුතුම ආකාරයේ භාණ්ඩයක් විය.මා හට එය මිල දී ගැනිමට කැමැත්තක් ඇති වුයේ නිරායාසයෙනි...එහි මිල රුපියල් හැටක් පමණ විය.එ දවස මව සතියකට නිවසට අවශ්‍ය භාණ්ඩ මිල දී ගත්තෙ රුපියල් තුන්සියයක් වැනි මුදලක් වැයකොට බව මා දැන සිටි නමුත් මා හට හිරමණය මිල දී ගැනිමේ අසාව වැඩි වෙමින් බුර බුරා නැගිණ.....මා හිරමනය අතින් ගෙන බැලිමි,එය කළු ලැකර් වලින් ආලේපිත එකක් විය.මවට මා කියා සිටියේ මෙම හිරමනය මට අවශ්‍ය ය බවය.මා හිරමණයක් අවශ්‍ය බව කිම කම්මල් ගුණපාල ගේ ද සිනාහවට හෙතුවක් වුයේ කෙසේද යන්න මා නොදන්නෙමි.
 
මා හිරමනය ගෙන එය අතින් වටයක් කරකවා බැලිය,එය මා කිසි දිනෙක දැක නොමැති අපූරුම දෙයක් විය.එය සදා තිබුණේ පාපැදියක පැටලයේ මැද කොටසට යකඩ කොටස් පෑස්සීමෙන් ය.එය මිලදී ගත් මා නිවසට ආවේ මහත් වු උද්යෝගයෙන් ය.ආ විගස මවට පොල් ගා දිමට මා හිරමනය ගෙන කුස්සියට ගිය මුත් එවැනි හිරමනයක් සවි කරන්නට මේසයක් කුස්සිය තුළ නොවිය,තිබුණේ කොස් පිට පළුවක් බීමට වල දැමු  දඩු ලි උඩ තබා ය.සවස තාත්තා ආ පසු පිට පලුව යටින් පිහියක අධාරයෙන් කට්ටයක් සකස් කොට එහි හිරමනය සවි කෙරිණ.මගේ හිරමණ රාජයා කුස්සියේ බැබැලෙමින් තිබිණ මා විටින් විට අවුත් හිරමණය කරකවා බෑලිය.එය හරිම අපූරු ය,නිතරම මව ගෙන් පොල් බෑයක් ගෙන එය හෙමින් හිරමනයේ තලයට තබා කරකවයි,කුඩා පොල් තීරු,කැරලි කොණ්ඩා කොට මෙන් හිරමනය යටින් තැබු පිගානට එක් වෙයි.මා එයින් ටිකක් ගෙන කටේ දමාගෙන හපයි.මගේ අලුත් හිරමණ රාජයා නිසා කලින් සිටි එක කොටෙන් කැපු දෙපැත්තට දිග හරින හිරමණයට වැඩ නැති විය.

දිනක් රාත්‍රියේ කුස්සියේ තිබු කුප්පි ලාම්පුව පුසා පෙරලිම නිසා ගින්නක් හටගෙන තිබිණ.හිරමනය තිබු තැනට ඉහලින් වහලයට ලණු දෙකක් ආධාරයෙන් ගැට ගසා තිබුණු  ලැල්ල ගින්න නිසා හිරමනය උඩඩ වැටි ඇත.මා උදෑසන නැගිට බලන විට හිරමනය කැබැලි දෙක තුනකට කැඩි වෙන්ව ගොස් තිබිණ අම්මා එය අනික් ගින්නෙන් පිලිස්සුණු දෑ සමග මගේ හිරමනයේ කොටස් ද කුණු ගොඩඩ එක කොට ඇත.මා හිරමනයේ කැඩුණු කොටස් ගෙන පියා සොයාගෙන ගියේ නැවැත හිරමනය සදා ගැනිමේ අටියෙනි,නමුත් එය සාර්ථක  නොවීය.....මා හිරමනයේ කොටස් ටික කඩ්බොඩ් පෙට්ටියකට දමා පරිස්සමින් විදුරූ භාජන තැබූ කැබිනට්ටුවෙ පහළ කොටසින් තැබිය ....

වසර පහලවකට පසු නැවත සති පොළට ගොඩ වැදුණේ අවුරුදු කාලයට අවශ්‍ය එළවළු මීලදි ගැනිම සදහා ය.එ අතර මා දැක්කෙ විශාල සෙල්ලම් බඩු ගොඩට එහායින් සිටින කැති තල,පොරෝ තල විකුණන වෙළෙන්දා ය,අද සිටින්නෙ ගුනපාල නොවෙය,ඔහු ගේ පුත්‍රයා වන අතර ගුණපාල මිය ගොස් දැනට වසර කිහිපයක් වන බව මා හට මතකය.අද ගුණපාල ගේ පුතු ළඟ හිරමන විකිණීමට තබා නොමැත.මා ගුණපාල ගේ පුත්‍රයා සමග ආගිය තොරතුරු විමසන අතරතුර කුඩා කොලු ගැටයෙකු අවුත් තම මවට පෙරැත්ත කළේ කුඩා යකඩ වංගෙඩියක් අරන් දෙන ලෙසටය...අවට සිටි අය උපහාසයෙන් බැලුවද ..මා අතීත මතක පිරැවු මළු දැතින් ගෙන සති පොළෙන් එළියට ආවෙමි....


ප.ලි
කලින් ලිවු කතා අතරින්
http://sahodarage.blogspot.com/2014/03/blog-post_7595.html

http://sahodarage.blogspot.com/2014/01/blog-post_27.html

ලින්කු එක් කිරිමට මේ ක්‍රමය භාවිතා කරන්න

<a href="LINK HERE"> WORDS HERE</a>



22 June, 2014

සිරි ගේ කතාව..... (උපහාරයක් වේවා !)

සිරි ගෙදර ගොම මැටි පිරියම් කර ඇති එළිපත්ත මත වාඩි වී බර කල්පනාවක ය .....ඔහු විටෙන් විට ළග තිබු සුදු පැහැති පොලිතින් මල්ලකින් බුලත් කොළ කැල්ලක් ගෙන හපයි .....

මොකෝ ලොකු පුතේ උඹ පාර දිහෑ බලන් භාවනා කරනව ද ?මේ ගොම්මන් වෙලාවෙ......
නෑ අම්මෙ මේ පොඩි මලයා එනකන් බැලුවේ ,මං ඌව දැක්කෙ නෑ දවස් ගානකින් .... එකයි මේ බැලුවෙ .......
ඔන්න ඔය හපේ අහක් කරලා මෙන්න මේ කහට ඩිංගිත්ත බීලා හිටපන්,බලපන් උඹේ හැටි ලොකු පුතේ.....අව්වටම කර කුට්ටං වෙලා ගිහින් සරිර කුඩුව......

තම පුතු දෙස බැලු පොඩි මැණිකාට හිල්ලින,දිගු සුසුමක් හෙළූ ඈ කලකට ඉහත දි සුදු පැහැයට තිබු බවට සලකුණු ඇති ගුරු පැහැයට හැරුණු  බෙලෙක් කොප්පයක් හේ පුතුට පෑවාය.....කටේ තිබු හපය අතට ගත් ඔහු කෙළ පිඩක් මිදුලට දමා කකුලෙන් වැලි එක්කාසු කොට වැසිය ...

එක නෙවෙයි ලොකු පුතේ,ඊයේ ගිරිගෝරිස් උන්නැහැ මේ පැත්තෙ ආවා ....

හ්ම්ම්ම්ම් ,ඇයි හදිස්සියක් වත්ද මිනිහට අපිව මතක් වෙලා තියෙන්නෙ ?

නෑ ...ආවේ ,එපිටහැක්කෙ අරනොලිස් උන්නැහේ ගේ දුව උඹට යෝජනා කරගෙන ..........මං කිව්ව උඹෙන් අහලා පනියිඩයක් එවන්නම් කියලා ,උඹ මොකෝ කියන්නෙ මේ ගැන ?

මට මොන ගෑනු ද අම්මෙ ,ලොක්කිට උගන්නලා එකිව කොම හරි විශ්වවිද්‍යාලයට යවන්න ඕන,ඊළඟට පොඩි එකාව .....

කෝ ....දැන් උඹ ගියා කියලා වැඩක් උණා ද.....ඇයි බන් උඹත් එක කොරන්න බෑ කියල නේද මේ ඇවිත් හේන් කොටන්නෙ උඹේ කල්පනාව අනික් උන් දෙන්නාවත් එ ගොඩටම ඇදලා දාන්න ද ?

සිරි ගේ උගුර හරහා  විශාල ලෝහ ගුලියක් යන්නාක් මෙන් විය,ඉහළට ගත් හුස්ම පපුව ඇතුළතින් තද විය ....තව පවුලේ කිසිවෙක් නොදත් ඔහු ගේ අතීතය,තම මව කියනා කතාව ද සත්‍යයක් නැතුවාම නොවේ,සිරිට දැනට වසරක පමණ පෙර  අතීතයක් සිහි විය,අනෝමා හා ගෙවුණු දවස්,කල කී වැඩ යහළු මිත්‍රාදින් .....එකින් එක පෙළින් පෙළ ගැසි මතකාවර්ජනය වන්නට විය.පිලට බර දී  ආයාසයෙන් නැගිට ගත් ඔහු භාගයක් ඉතුරු කල කහට කෝප්පය ඈ අත තැබීය.....

මං යනවා හංදිය පැත්තට ලොක්කිත් හොදටම පරක්කුයි වගේ,එකි ආච්චි අම්මලා ගේ දිහෑ නවතිනවා කියලා කිව්වෙත් නෑ.....මං බලන් එන්නම් ......

නිවසේ ඉදිරිපස ලණු දෙකක අධාරයෙන් හරස් අතට රෙදි දැමීමට බැද තිබු කෝටුවෙන්  කමිසයක් ගෙන ඇගේ රුවා ගත් ඔහු නිවසට මඳ දුරකින් පිහිටි තම පියා සිටි කාලයේ අතරමග වැඩ නවතා දැමු මෝඩ ගැඩොලින් කරන ලද නිවස ඉදිරිපිට නැවති බැලිය,බැද තිබූ ගඩොල් වල දිය පාසි බැදි සවස් හිරු එළියෙන් විවිධාකාර රූප මතුවී ඔහුට පෙනිණ,එවායෙන් තමා ගේ යටගිය අතීතය හා බැදි භයංකර කතා පුවත් මැවි පෙන්නට වීය........සුළු වේලාවකින් පියවී සිහිය එළඹ ගත් ඔහු කඩ පිල දෙසට පිය නැගී ය ....

ආ ....සිරි පුතේ උඹ දැක්ක කල් ,වරෙන් මෙහෙන් වාඩි ගනින් .....උඹ අර ඉඩම් කැල්ල සුද්ද කොරලා අහවර ද ?

තවම මොන .....අන්දිරිස් මාමා අපේ පොඩි එකාව දැක්ක ද ?

එකා ආන් මං දැක්කා පොල් වත්තෙ බූරු පොළේ ඉන්නවා ........අපේ පරම්පරාවේ ඒකෙක්වත් ගිය තැන් ද බොල ඕවා ....මං ඌට අවවාදයක් කරන්න ගියාම ඌ මටම පිප්පුවේ නැතෑ ......මගේ මොකෝ බන් ... මං අවා එන්ඩ .........

සීරි සිටි තැනින් වේගයෙන් නැගිට සරම කැසපොට ගසාගෙන බඩවැටිය දිගේ අඩි වේගයෙන් තබමින් යන්නට විය.......යන අතරමග ඔහු එක්වරම නතර වුයේ හුරුපුරුදු රුවක් දුටු නිසාය.......ලොකු නංගි ,ඔහු ගේ හදවත යකා ගේ කම්මල මෙන් විය ......ලොකු නංගි තවත් කොලු ගැටයෙකු හා රබර් වත්තෙ අසල මුකුළු කරමින් සිටි .........හිතට නැගි ආවේගය ගුලි කර ගත් සිරි මුවින් කිසිත් නොදොඩා අසල තිබූ රබර් ගසක් මුල වාඩි විය.....ඔහු ගමට ආවේ මෙවැනි දකින්න සිතාගෙන නොවේ....ඔහුට අනෝමා සිහියට නැඟිණ .......

අපි කසාද බඳිමු සිරි ,ඔයා ඉන්න එන්න අපේ ගෙදර .....අපේ පවුලේ කියලා මං ඇර වෙන කවුරුත් නෑනේ ..................

අනෝමා...... අපේ ගෙදර තත්වේ ඔයා නොදන්නවා වගේ කතා කරන්න එපා ..........තව පොඩි උන් දෙන්නෙක් ඉන්නවා මං බලන්න ඕන උන් දෙන්නා ගැනත් ................

අම්මා ඉන්නවා නේ සිරි ඒ ගැන බලා ගන්න,අපි පුළුවන් විදියට උදව් කරමු ...............

එයාලා  බර තියෙන්නෙ දැන් මං ගාව ............

එහෙනං ඔයා ඔය අවදානම් වැඩ නවත්වන්න .....එවා වැඩක් නෑ ....ඔයා ජොබ් එකක් හොයා ගන්න ..........

ඔයාට මේවා තේරුම් කරන්න මට උවමනා නෑ .............. ඔයටත් ඕන මං අර ජිනේ වගේ ඉන්නවා දකින්න ද ?

ඇයි ජීනේට දැන් මක් වෙල ද තියෙන්නෙ ?

ඌට මොකක් වත් වෙලා නෑ,යමුනා ගහන ගහන පදෙට නටනවා ඇරෙන්න,ඌ කරන වැඩ නිසා ලගදිම අමාරුවේ වැටෙනවා ....මට එහෙම වෙන්න ඕන නෑ .............

සිරි සැමදා යමක් තීරණය කළා නම් ඒ ස්වකීය අභිමතය පරිදි ය....ඔහු කිසි විටෙක එම තීරණ ගැන නම්‍යශීලී බවක් නොපෙන් වීය .......

මං යනවා ...ඔයා එනව ද ?

ඔයාට බැරි ද තව පැය භාගයක් මාත් එක්ක මෙතන ඉදලා යන්න ?......

එදා ඔහුට අනෝමා හමුවූ අවසන් මොහොත වීය ....එදිනම ඔහු සැමට හොරෙන් ගමට පැන එමට සිදු විය .............පසුව ඔහු ගමේම නතර වුයේ නංගි සහ මල්ලි ගේ අධ්‍යාපනය ගැන මෙන්ම පවුලේ ඉදිරිය ගැන සිතාය.පියා මිය යාමට මත්තෙන් සිරි පියාට පොරොන්දු වුයේ පවුලේ ඉදිරිය ගැන වගකීම තමන් ගන්නා බවට ය ....

ලොකු පුතේ ...උඹ තමයි මං නැති දවසක ගෙදර වැඩ මුල් වෙලා කරන්න ඕන ....පොඩි උන් දෙන්නා ගැන බලපන්,උඹ දැන් දැනුම් තේරුම් තියෙන එකෙක් .........

තාත්තා මේ මොනව ද කියන්නෙ ?

පියාව එක්වරම පරලොව ගියේ ගඟේ ගිලෙමින් ය....බොහෝ දෙනා කිවේ පියා සමඟ වැලි තොටුපොළට ආරෝවක් තිබු සෙතං ගේ මස්සිනා වූ අරනොරිස් දියේ ගිල්වා ඇති බවයි.....නමුත් මවට එ ගැන සොයා බැලිමට තරම් වුවමාවක් නොතිබුණ ..... රබර් ගස මුලින් නැගිට සිටි ඔහු හෙමින් කදු ගැටේ මැදින් අතුරු පාරක් හරහා ගොස් කනත්ත මැදින් නිවස දෙසට ගියේ  ය.....

අම්මේ....අම්මෙ ....

මොකෝ ලොකු පුතේ ,මේ ඉහින් කණින් දාඩිය පෙරා ගෙන ?

මං යනකොට අන්න ලොකු නංගි රබර් වත්ත ගාව කොල්ලෙක් එක්ක මුකුළු කර කර ඉන්නවා,අද ගෙදර ආවාම අහන්න,ගමේ උන් මොනවා නොකියයි ද මෙවා දැක්කාම .....

ආ.................ලොක්කි මට ඒ දරුවා ගැන කිව්වා ....එහා ගමේ සෙතං ගොයියා ගේ ලොකු ළමයා නේ .....

මොකක් ?,අම්මා මේ ගැන දැනගෙන හිටිය ද?

ඇයි මං ඔවා උඹට කියන්න උඹ මේ ගෙදර මහ මිනිහා ද බොල ?ඇය සිරි දෙස කෝපයෙන් බැලිය...උඹල ගේ මහ එකත් ඉන්නකන්ම කරේ මාව හදන්න ආපු එක දැන් උඹ........

ලොක්කි තවම පොඩි එකි තවම ඉස්කෝලෙ යන වයසේ .....සිරි බිමට බර වූ මුහුණින් යුතුව පැවැසිය ...

උඹේ පැහිච්ච කම තියා ගනින් උඹට.......මගේ ඉහ නිකට පැහැණු ගේ නිකමට නෙවෙයි...අනික මං උඹලා ගේ අම්මා මේ ගෙදර තීරණ ගන්නෙ මං ,උඹ මට උපදේස් දෙන්න එන්න ඕන නෑ .......

සිරි ....නැවැතත් නිවසේ එක් පසකින් පිහිටි වෙල් යාය මැදින් ප්‍රධාන මාර්ගය දෙසට යනු පෙනිණ.....රෑ මැදියම ලං වනවාත් සමඟ කිසිවෙකු තම දොරට තට්ටු කරනු ඇසි ....

කවුද .....මේ වෙලාවෙ...

මං සිරි ....අම්මා දොර අරින්න .....

මොහොතකින් දොර ඇරිණ ....සිරි සිටියේ තනියම නොවේ තවත් කොණ්ඩා,රැවුල් අපිළිවෙළට වැවුණු කොල්ලන් කිහිප දෙනෙකු සමඟ ය....

අම්මෙ ..මේ මගේ යාළුවෝ ටිකක් .....කෝ...කෝ .. ලොක්කි යි ..පොඩි මල්ලියි ...

උන් දෙන්නා දැන් නිදා ගත්තා විතරයි .....මොකටද

හ්ම්ම්ම් ...කමක් නෑ ......අම්මා රෑට ඉව්වා ද හොදටම බඩගිනි බත් කටක් කන්න ඕන ...

උඹට බත් ඉතුරු කරේ නෑ ...මං හිතුවෙ උඹ හේනට ගියා කියලයි....

හ්ම්ම්ම් ....එහෙනං කමක් නෑ ....මං මේ යාළුවෝ එක්ක පොඩ් ගමනක් ගිහින් එන්නම් ,අම්මා දොර වහලා නිදා ගන්න .......

සිරි ගේ මුහුණ සුදුමැලිව තිබුණු අතර වචන ද පැටලෙන ගතියක් තිබිණ........රබර් වත්ත එපිට කැලෑ රොද දෙසින් කෝනෙකු ගේ හඩ ඇසින ......එදා සිරි නිවසට ගොඩ වැදුණු අවසන් මොහොත විය ........සිරි ගැන තොරතුරක් නැවත ගමට ආරංචි නොවිය .............

ප.ලි 
කමෙන්ටුවක් නොදමා ගියා කියා අහිතක් නැත ..පෞද්ගලික තෘප්තිය සඳහා ලියවු කතාවකි .....

14 June, 2014

කාලයත් සමඟ තේරුම් ( නො)ගත් ලිවිල්ල ...


පොඩි පොඩි දේවල් ගැන පොඩ්ඩක් ලියන එක මං මුලින්ම කරපු දෙයක් බයිසිකල් ගැන තව දැලි රැවුල කපපු කොල්ලො ගැන වගේම සහෝදරට ආච්චි කියලා දුන්නු කතාත් ලිව්වා...හැබැයි එහෙම ලියපු කතා ලිව්වෙ මොකක් හරි දෙයක් කියන්න,එ දේවල් බොහෝ වෙලාවට කමෙන්ටු තුල නැති වුණත් සාර්ථක වුණා.

මෙකත් එ ගොඩට යන කතාවක්,කොමත් මං ලියන්නෙ ටිකක්  අතීත කතා විතරයි වර්තමාන කතා ඉදහිට ලියනවා එහෙම වර්තමාන කතා නොලියන්නත් හෙතු තියෙනවා ..

සහෝදරට ඉගෙන ගන්න පාසැල් කිහිපයකට යන්න වුණා,එහෙම යන්නත් විවිධ හෙතු තිබුණා.එහෙම පාසැල් කිහිපයකට ගියත් මං පරණ යාළුවන්ව අමතක කරේ නෑ,මොකද මං හිතුවා මට එහෙම අමතක වෙන එකක් නෑ කියලා.

මේ ලඟ දී දවසක සහෝදරට ඉගෙන ගත්ත පාසැල් වලට අයේ යන්න පුළුවන් උනා,ඒ කාලේ නැති සැලකීම් දැන් ලැබෙන කොට හිනාත් යනවා.ඒ කතා එහෙම වුණත් මේ එන අගෝස්තුවේ උ/පෙ කරන ළමයි නම් බර වැඩක යෙදිලා හිටියා,ඒ පොඩි ඔටෝ ග්‍රාෆ් අරගෙන එවායේ පොඩියට හරි සටහනක් තියා ගන්න,තවම අපිව ඉස්කෝලෙ ඉන්න ළමයි අදුනනවා එකත් හිතට සතුටුයි,එ දවස් වල බයට කතා නොකර හිටිය අලුතේන් ඇවිත් හිටිය ළමයි පවා ඇවිත් වචනයක් දෙකක් කතා කරලා ගියා .

මට මතක් වුණා මුලින්ම මම සා/පෙ කරන්න ගිය ඉස්කොලේ ගැන,එ දවස් වලත් අපේ පංතියේ ළමයි අතර ඔය ඔටෝ ග්‍රාෆ් වල විවිධ දේ ලිවිමේ චාරිත්‍රයක් වගේ දෙයක් තිබුණා,එක අපිට කලින් සා/පෙ කරලා ගිය අයත් කලා,මුලින්ම මේ වැඩේ පටන් ගත්ත කාලයක් නම් හිතා ගන්න බෑ,අපි සා/පෙ කරන දවස් වල පංතියේ ගොඩක් අය විවිධ හැඩයේ රූප තියෙන පොත් අරන් එනවා,ඇවිත් පංතියටම දෙනවා මොනවා හරි එකේ ලියන්න කියලා,සමහරු විභාගයට සුභ පතලා නිසදස්,කවි පංති ලිව්වා තවත් සමහරු එ කාලේ කියපු කරපු කතා ලිව්වා,එවයේ ගුරුවරු පවා විවිධ සුභ පැතුම් ලියලා තිබුණා.සා/පෙ කරන කාලේ සහෝදර නම් ඔටෝ ග්‍රාෆ් එකක් ගත්තෙත් නෑ කිසිම යාළුවෙක් ගේ පොතක ලිව්වෙත් නෑ,එහෙම කරේ මං ඔටෝ ග්‍රාෆ් වල ලියන එකට දක්වපු අකමැත්ත නිසාමයි ....

කොම හරි උ/පෙ කරන්න වෙනත් ඉස්කෝලෙකට යන්න උනා,අලුත් ඉස්කෝලයක් උනාට සැහෙන පිරිසක් කලින් දන්න අදුනන අය හිටියේ.කොම හරි උ/පෙ පංතිය නිවාඩු දෙනවා කියන ආරංචිය අවා,ඔන්න අයේ පරණ විදියටම මුලින්ම  එකක් දෙකක් වුන ඔටෝ ග්‍රාෆ් පස්සෙ සියයක් විතර පංතියේ හුවමාරු වෙනවා,නමුත් වෙනදා විදියට අපේ පංතිය නිවාඩු දුන්නෙ නෑ අගෝස්තු මාසේ වෙනකම්ම පංති පැවැත්වෙන බව කිව්වා.සමහරුන් ගේ ඔටෝ ග්‍රාෆ් යතුරු දලා ලොක් කරන්න පුළුවන් එවා,තවත් එවා තිබුණා සුවද හමන එවා,සමහරු එ දවස් වල නොක නොබී එවා යේ කතා ලිව්වා,මං කරෙ ලියන්න දුන්නු පොත් වල අනික් අය ලියපු එවා කියවපු එක,ගොඩක් පොත් වල පිටු හත අටක් දිගට කතා ලියලා තිබුණා එවාගේ තිබුණේ ගොඩක් වෙලාවට යාළුවෝ එක්කාසු වෙලා කියපු කරපු දේවල් අමතක නොවන සිදුවීම් ගැන,මට ඒ වෙලාවෙත් ප්‍රශ්නක් අවා අමතක වෙන්නෙ නැත්නම් ඇයි මේ මහන්සි වෙලා ලියන්නෙ කියලා,සහෝදර ලිව්වෙ මතකය හරි නම් ඔටෝ ග්‍රාෆ් හයක විතරයි,එත් කතා ලිව්වෙ නෑ පොඩි වැකි දෙක තුනක් ලියලා යටින් ෆොන් නම්බර් එක ලිව්වා,ඇත්තටම එහෙම ලියන්නත් ඕන කමක් තිබුණේ නෑ හැබැයි ලියන්න වුණා යාළුකම රැක ගන්න,මොකද සම හරක් හිතුවෙ යාළුකම් තියෙන්නෙ කොළ අතර කියලා,මං නොලිව්වට මං ගැන එ පිටු අතර සැහෙන ලියවිලා තිබුනා.

ගොඩක් අය ඇහුව දෙයක් තමා කෝ උඹේ ඔටෝග්‍රාෆ් එක කියලා,උ/පෙ වලට ගියා කියලා එ වැඩ වලට මගේ තිබුණ අකමැත්ත අඩු වුණේ නෑ. ඔය ලිවිල්ලෙ හොදම එක තමා අවසාන පිටු කිහිපයක් වෙන් කරලා තිබුණ පිස්සු පිටුව කියන පිටු කීපය.මට නම් හිතුණෙ නිදහසේ හිතෙන දෙයක් ලියන්න වෙන් කරපු පිටු කිහිපයක් කියලා.එකේ විවිධ සිංදු කෑලි,විවිධ වැකි වගේම පොතේ අයිතිකාරයාට මඩ ප්‍රහාරත් ලියවිලා තිබුණා.එවැනි දේ මතක නම් කමෙන්ටුවක් ලෙස ලියා යන්න....

ඒ දවස් වල මං පොරට මේ ලිවිල්ල ලියන්නෙ ඇයිද කියන එක තේරුම් ගන්න අමාරු වුණ දෙයක්.නමුත් මං ප්‍රසිද්ධියේ ඒ ගැන විවේචනය කරන්න ගියේ නෑ,මොකද තේරුම් ගත්තා මං අකමැති උනාට වැඩි පිරිසක් මේ දේට කැමැති කියලා.ඒ වගේම ගොඩක් අය මේ දේවල් කරන්නෙ තමන්ට කරන්න ඕන නිසාම නෙවෙයි කියලත්.

ප.ලි 
මීට අදාළ පොස්ටු ඇත්නම් ලින්කු ඉදිරිපත් කරන්න ..


09 June, 2014

කවුද යකෝ මගේ සිංදුව කොපි කරේ .......

හාලෝ ............... හලෝ ....කොහෙන් ද මේ කතා කරන්නෙ ?
මං නම් කටින් උඹ ඇයි උඹ වෙන තැනකින් ද කතා කරන්නෙ ?
මේ දොඹයා කියන එකා ද ?
ඔව්...එකා තමයි ඇයි අවුල් ද  ?
ඈ ගස් මූසලයෝ තොට මාව අදුන ගන්න බැරිද ? 
තෝව අදුන ගන්න පෙන්න එපෑ ......
වල් මීමො මං මේ බට්ටා කතා කරන්නෙ ??තෝ මැරිල ද පෙන්න නැත්තෙ?
ආ ......මචං මං මේ උඹ ගැන මතක් කරා විතරයි ......
ආ ...එහෙම ද?සුමනා නැන්දා ගේ දුවත් එක්ක වෙන්න ඇති නේ ??
හරි..........හරි......ඇයි බන් හදිසියේ .....?උඹ කොමද මගේ නම්බර් එක හොයා ගත්තෙ ?
නම්බර් එක හොයා ගත්තෙ ද උඹේ උඩැක්කිය හම්බ වුණා අද ටවුමෙදි,උඹේ නම්බර් එක වැඩ නෑ කිව්වාම කිව්වෙ නැතෑ ,අපි දෙන්නා දැන් කපල් වෙලා ඉන්නෙ කියලා ...
ඉතිං උඹලා තව වෙන මොනව හරි කිව්වද ?
අපි මොනවා කියන්න ?මං කිව්වා අපි නම් හිතුවෙ දැන් පවුල් වෙලා දරු සුරතල් බලනවා ඇති  කියලා කිව්වා.....ඊට පස්සෙ පතිවත නැති වෙනවා වගේ උඹේ අලුත් නම්බර් එක දුන්නා .....
ආ...එක තමා දැන් තොපිට මාත් එක්ක බැණ බැණ හිටියේ ඔයා අර වල් හිපාටුවෝ එක්ක ආශ්‍රයට අයේ යන්න එපා කියලා
ඇ.....මොකක්ද යකෝ කිව්වෙ .....
එක හරි බන් ....උඹ කතා කරේ හදිසියක් ද .....
මියුසිකල් එකක් තියෙනවා අද රෑට උඹ එනව ද යන්න ??මං අනික් වුන්ටත් පණිවිඩේ කිව්වා .....
අපි නැතිව ඔවා විවෘත කරන්නෙ කවුද බන්..... මං හය වෙනකොට ඇටයලා ගේ ගෙදර ???

ඔන්න හවස අට විතර වෙනකොට අපි තිබහට බීම එකක් එහෙම බීලා ඇදුනා ඇතුලට .... ගිහින් විවෘත කටයුතු කරා බටයා ඇතුලේම කබරයා පාරක් දලා ......ඔන්න මහ සද්දෙට වැඩේ නැගලා යනවා ...සම හරක්  පොලොවේ දිග මනිනවා උඩ පනිනවා,වටේ දුවනවා,ඇබෙරෙනවා එකම විකාරයයි,එතන හිටපු ගොඩක් අය ඔය නටන තරු තෝරන තරගෙකට ආපු අය වගේ පෙනුනේ .....

ටික වෙලාවක් ඔහොම යනකොට ආරාධනා කරා නැගි එන කලා කාපාලු,කෙප්පමාණි,කෑරල සම්මාන ලාභි නැගි එන රැල්ලෙ අඩන ගායක හොටු කබරාස් ට ,ඉස්සරා ඉන්න කෙල්ලන්ට හිනා කට දා ගෙන පොර නැගලා ස්ටෙජ් එකට නැගලා අඩන්න ගත්තා හොටු කඳුළු පෙරාගෙන,බිම බදාගෙන,දිව එළියට දා ගෙන ,බලන් ඉන්න අපිට දුකයි මූ අඩන ඇඩිල්ලට,මොකක් වුණත් කොලු නාමයක් නේ ........යකෝ මෙහෙම අඩන්න පුළුවන් නම් සිංදු කියන එක නවත්වලා මළ ගෙවල් වල කුලියට අඩන්න තිබුණා මුන්ට .....

ඔන්න ඊළඟට කිව්ව විදියට හොටු කබරාස් ගේ අලුත්ම ඇඩිල්ල අඩන්න ගත්තා විතරයි මෙන්න අපේ බට්ටා හුලං ගැහිල්ල නතර කරා,නතර කරලා..........

අඩෝ...පල් හොරා .....මූකලන් බස්සා .......ඇට මීමා ....අද නම් මං උඹව තියන්නෙ නෑ ...මං උඹට එවනවා සුදු වැන් එකක් පටවාගෙන යන්න,උඹ අපේ ලොකු මාමා ගැන දන්නෙ නෑ ,කියලා මූ මර හඬ දෙනවා .....ඊළඟට කරේ කොහෙන්ද පොල්ලල් අරන් යනවා ස්ටෙජ් එක පැත්තට ......

මං පැනපු ගමන් බට්ටාව බදා ගත්තා ... බටයා කබරයා දාගෙනම පැන්නා උගේ ඇග උඩඩ,ඇටයා බිම දිගේ ඇවිත් බට්ටා ගේ කකුල් දෙක අල්ලා ගත්තා......

මොකක්ද යකෝ අවුල ....උඹ ඔය පොල්ල කෙලින් කරන් කොහෙද යන්නෙ ?
නෑ මචංලා බලපල්ලා මං අර අලුතෙන් සිංදුවක් කරා උඹලා දන්නවා නේ,

ඔව්.....ඉතිං මොකද වෙලා තියෙන්නෙ එක අහපු වුන්ට දැන් පාචනය හැදිල ද ?ලේ අතිසාරය ද?

නෑ ...හිපාටුවෝ ,අර ගස් මුසලයා මගේ සිංදුව කොපි කරලා උගේ වගේ කියනවා බොරු නම් අහලා බලපල්ලා පොඩ්ඩක් කිව්වා .......අපේ බට්ටාත් එසේ මෙසේ පොරක් නෙවෙයි ඌත් පහුගිය දවසක් සිංදු කැල්ලක් කරපු එකෙක්,එහෙම කරපු කුළුඳුල්ම එක වෙන එකෙක්ට අයිති වෙන්න දෙන්නෙ බෑනේ අපි පොඩ්ඩක් අහලා බැලුවා ....

ඇත්තනේ  බන් ...මේ උඹේ සිංදුව වගේ තමයි .....

එකනේ උඹලාට මං කිව්වෙ මේ වල් නාබ්බා කියන්නෙ මගේ සිංදුව උගේ වගේ,වරෙල්ලා යන්න මේක බෙරුමක් කර ගන්න කියලා අපි මැන්ස් ස්ටෙජ් එකෙන් බහින කොටම අල්ලා ගත්තා ......එතන එකම යුද්ධයයි ...

අඩෝ හොට්ටා උඹ මගේ සිංදුව කොපි කරා නේද ?අද මං උඹව මෙතනම සීනිගම යවනවා....හොට්ටා එකසිය ගානට බය වුණා ....සට සට ගලා වෙවුලන ගමන් මැන්ස් ඇහුවා

මල්....ලි ..ඔ..ඔ...යා ගේ සිං....සිං.....දුව මො....කක්...කක් ...ද මල්ලි ,මං තවම වෙන අයගේ සිංදු කියලා නෑ ........

උඹ බාබා දැන් උඹ කිව්වෙ අවසානේ කියලා බට්ටා පොරගේ ඇඩිල්ල අඩන්න ගත්තා පොලොව බදාගෙන ....පස් කටෙන් එකයි ....  

මං ගඟේ පනිනවා 
අම්මපා මුදේ පනිනවා 
නැත්නම් පනිනවා මයි ලිදේ 
උඹ නැතිනම් අම්මපා 
පනිනවමයි ලිදේ //
  
ඉතිං මල්ලි මගේ සිංදුව ඔක නෙවෙයි නේ,වෙන එකක් නේ කියපු හොට්ටා පොර ගේ ඇඩිල්ල අඩන්න ගත්තා ....පොලොව හොබ්බ උලා ගෙනම .....හොටු කඳුළු පෙරගෙන .......

උඹ නැත්නම් අම්මපා 
පනිනවා මහ මුහුදේ 
බැරි උනොතින් නගේ
අම්මපා පනිනවා මං ගඟේ
පනිනවා මං ලිදේ //  

මේ ඇඩිලි අහන  උන් කබරයා දාන්නෙ නැතුව බේරෙන්න කොමද කියන එකත් මාර ප්‍රශ්නයක්.....

ආ.....දොඹයා උඹම කියපන් මේ වල් හිපාටුවා මගේ සිංදුව කොපි කරලා නෙවෙයි ද මේ ?මං පොර මහ බැරෑරුම් ප්‍රශ්නෙක පැටලුණේ ...

හ්ම්ම්ම් හොට්ටො බොලාට කවුද සිංදුව ලියලා දුන්නෙ ?මං පොර දාර්ශනික පොරක් වගේ ඇහුවා ...

අන්න හරි දැන් කියපන් හොට්ටො බලන්න,උඹ මගේ සිංදුව අහලා එක කොපි කරපු කතාව ........බට්ටා පොල්ල වන වනා කිව්වා .....

පොඩ්ඩක් හිටපන් කෝ උඹ හොබ්බ දාන්නෙ නැතුව,හොට්ටො උඹ කතාව කියපන් ......ඇත්ත කිව්වෙ නැත්නම් වල් වෙවැල් ගුටි.....ඒ පාර හොට්ටා හැඟුම්බර උනා ....තනි ඇහෙන් කඳුළු පැන්නා ......

මල්ලිලා....මට හරි ආසාවක් තිබුණා ආසික්කිත චිත්‍රපටියේ සිංදුවට සිංහලෙන් සිංදුවක් කරන්න ඉතිං මං මෙලඩි එක අරන් ගිහින් කොපිකාචාර්‍යට කිව්වා වචන ටිකක් දලා දෙන්න කියලා ...ඊට පස්සේ ..

හෝව් ....හෝව් ...ඔය ඇති ,බට්ටා උඹ කියපන් දැන් උඹ කොහොමද සිංදුව හැදුවේ කියලා ......ඒ පාර බට්ටා ගේ මූණ ටිකක් ඇද වුනා ....

මචංලා උඹලා දන්නවානේ මට සිංදුවක් කරන්න මාර ඇම්මක් තිබුණා කියලා ඉතිං මං සිංදුවක් ලියා ගන්න කොපිකාචාර්‍යට ගාවට ගියා,මිනිහා තමයි මේ පද ටික දිලා කිව්වෙ මේකට අර අසික්කිත ෆිලුමේ සිංදුවේ මෙලඩිය දලා බලන්න කියලා,මමත් දලා බලනකොට මරුවට ගැලපුණා ,ඉතිං මමත් සිංදුව කරා ,ආ උඹ කියපන් මං වැරදිද ?මූ මූණ ඇඹුල් කරගෙන කිව්වා .......

දැන් වල් හිපාටුවෝ දෙන්නාගේ ඇඩිලි දෙකේ මෙලඩිය අසික්කිත ෆිලුමේ එකක්,වචන කොපිකාචාර්‍ය ලියලා තියෙන්නෙ,එකත් එකම කතාවක් වචනත් එකම වගේ .......කතාව අහන් හිටපු බටයා අයේ වතාවක් කබරයා පාරක් දැම්මා හොට්ටාගේ ඇග දිගට.....ඇටයට බැහැපූ සූර් අයේ ඇවිත් දඩාස් ගලා වැටුනා හතර ගාතේ දා ගෙන පෙරෙතයා පොලොවේ ගැහුවා වගේ  .....මං මොනවා කියන්න ද මෙතෙක් වෙලා නොතිබුණු සූර් ගතියක් එනවා වගේ දැනුනා මං එහෙම්ම බට්ටාගේ කරට හේත්තු වුණා .................... 

ප.ලි 
මෙහෙම කතාවක් ලියන්න සිතා නොතිබුණත් ලැබුණු මෙලක් නිසා අයේ  මෙහෙම ලියන්න සිතුණි.............................. 







31 May, 2014

දැනුම් දීමයි ..

අද දින පල කල පොස්ටුව මද වෙලාවකට ඉවත් කර ගන්නා ලදි ඇනෝ කෙනෙකු  දිගින් දිගටම  පවසා සිටියේ එ කතාව මාටින් වික්‍රමසිංහ ශුරින් ගේ කතාවක ලටෙස්ට් අප්ඩෙඩ් එකක් කියාය .මා ඒ කතාව කියවා නැති බව සැබැය,ඒ නිසා ඒ කතාව සොයා කියවා බලා නැවැත පොස්ටු දැමිමට තිරණය කලෙමි.....දැනුම් දුන් ඇනෝට මගේ ස්තූතිය...

නමුත් එක දෙයක් නම් කිව හැකිය, පොස්ටුවේ අයින් කල ගත්තෙ මා කතාව කියවන්නට සිතාය,කතාව තිබෙන තැනක ලින්කුවක් එක් කරන්න හැකි නම් වටිනෙය .නමුත් එක් දෙයක් නම් විශ්වාසයෙන් කිව හැකිය අයින් කර ගත් පොස්ටුවේ  ඇති සිද්ධි සියල්ල මා අත් විද ඇති එවා ය ...නැතුව මා කතාවක් උස්සා ලියන ලද එකක් නොවෙය .....

26 May, 2014

කලින් තට්ටෙ බලෙන් ............





ගෙවුණු වෙසක් කාලේ බුද්ධාලම්බන ප්‍රිතිය උතුරන බණ කතාවක් ලියන්න හිටියත් වෙලාවක් ලැබුණේ නෑ,එ කතා තව ඉස්සරහට තියලා අද කියන්නෙ පොඩි කතා දෙකක්

මේ කතා වුණේ අවුරුදු දවස් වල,ඔන්න මං පොර පොඩි ගමනක් ගිහින් ගෙදර එන්න ටවුමට වෙලා බස් එකක් නැතුව ඉන්නවා අවුරුදු දවස් වල,ගමන ගියාට අයේ එන්න වාහනයක් නෑ ,ඔහොම ඉන්න කොට කාර් එකක් ඇවිත් නැවැත්තුවා ,බලන කොට දන්න අදුනන පොරක්,ගෙදර යන්න විදියක් නැතුව වෙලාවේ මෙහෙම දේවල් ලැබුණාම තියෙන සනීපේ .....පොර තට්ටෙ තියෙන පොරක්,වයස අවුරුද්ද හතලිස් පහක් විතර ඇති,මතක විදියට කැම්පස් එක පේරාදෙණිය හෝ ජයවර්ධනපුර,ඒ ඉන්න කාලේ මහණ දම් පුරලා පස්සෙ ගිහි වෙලා.......දැන් නම් ලොකු තනතුරක් දරණවා ....

ඔන්න අපි දෙන්නා ටික දුරක් එනවා මනුස්සයා මගේ ආ ගිය විස්තර අහනවා,පොර ගේ අතිත නයි ටික ටික යවනවා ....එක පාරම කාර් එක බ්‍රේක් කරලා නැවැතුවා මං ඇහුවා ඇයි ද මොකක් හරි අවුලක් ද  කියලා ...ඔන්න ඒ පාර පොඩි ස්ලොකයක් කිව්වා මට තෙරෙන එකක් නෑ,මං ඇහුවා ඒ මොකක්ද කියලා ....ඊට ටික දුරක් ඇවිත් ඇහුවා

දැන් මං අර කාර් එක නැවැත්තුව තැන මොනවා හරි දැක්ක ද?

හ්ම්ම්ම්ම්ම්.......ගෑණු ළමයෙක් නම් දැක්කා ...

එහෙමද ...අන්න ඒ ගැන තමා මං අර කිව්වෙ ...කියලා කට කොණකින් හිනා වුණා ....

මට මාර ප්‍රශ්නයක් දැන් මේ කතාව .....ඒ මොකක්ද මටත් කියලා දෙන්න කියලා මං කිව්වා,මනුස්සායා එක මට කියලා දුන්නා දැන් නම් ස්ලොකය මතක නෑ ..එත් මෙන්න එකට අදාල කතාව ..

එක්තරා සිංහයෙක් ගුහාවකට වෙලා ඉන්නවාලු ඒ වෙලාවේ ගුහා දොරටුව ඉස්සරහින් මුව දෙනක් තණකොළ කමීන් යනවලු,එතනින් ගිය සිවලෙක් සිංහයට ඇවිත් කිව්වලු,අර මුව දෙනව ගොදුරු කර ගන්න මේ  ගුහා දොර අභියසම ඉන්නෙ කිව්වලු.අන්න ඒ වෙලාවේ සිංහයා හිවලට කිව්වලු මං දැන් මහළුයි,දත් නෑ ,නීය සැර නෑ,මං මේ මුව නැම්බියව දඩයම් කරන්න ගියොත් මේ මුව නැබ්බි මගෙන් බෙරිලා යනවා,එක මට අපහාසයක් ඊට වඩා හොදයි ඒ දිහා බලන් රස විදින එක කිව්වලු ....ඔන්න පලවෙනි කතාව .......

ටික දුරක් යනකොට පොඩි ප්‍රශ්නයක්  ගැන අපි දෙන්නා කතා කරනවා අයේ සැරයක් අර වගේ ස්ලොකයක් කිව්වා පලවෙනි කතාව මට අල්ලලා ගිය නිසා අයේ දෙවැනි එකෙත් තෙරුම ඇහුවා,එකේ තෙරුම මෙන්න ....ඔන්න ගෙදරක තියෙනවලු බෙරයකුයි,වංගෙඩියකුයි ,දෙකම තියෙන්නෙ එකම තැනලු,ඔන්න දවසක් මේ දෙක කතා කරන්න ගත්තලු,වංගෙඩිය බෙරෙට කියවනවලු ...

යාළුවේ ..මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ කිව්වලු ,බෙරේ ඇහුවලු ඇයි එහෙම කියන්නෙ කියලා,ඊට පස්සෙ වංගෙඩිය කිව්වලු මට කිසිම නිදහසක් නෑ,මිරිස් කොටනවා හාල්,කොටනවා හැම වෙලේම ඩෝං ..ඩෝං කියලා ගහන එකමයි වැඩේ,මේ ගුටි කන එක දැන් නම් එපා වෙලා තියෙන්නෙ මට නම් උඹට නම් කිසිම කරදරයක් නෑනේ හොදට සුදු රෙද්දක ඔතලා උඩින් එල්ලලා තියෙන්නෙ,කරේ තියාගෙන එහේ මෙහෙ අරන් යනවා මට ඒ වගේ නෑනේ කිව්වලු....බෙරේ ඊට පස්සෙ කිව්වලු උඹ කියන කතාව ඇත්ත යාළුවා මාව සුදු රෙද්දක ඔතලා උඩින් එල්ලලා තියෙනවා කරේ තියන් අරන් යනවා තමයි ,ඒ වුනාට උඹ දන්නෙ නෑ මට උඹට නම් ගහන්නෙ මේ ගෙදර ඇතුලේ නේ ,මට එහෙම නෙවෙයි මට ගහන්නෙ දෙනෝ දහක් ඉස්සරහා කිව්වලු ....

 

ප.ලි 
මේ වැනි කූඩා කතා දන්නෙ නම් (තනි කුණු හබ්බ නොමැතිව ) ලියා තබන්න.ලිවු පොස්ටු දන්නෙ නම්  ලින්කු එකතු කරන්න ...

17 May, 2014

අමතකව ගිය යුදඟනාව

යුදගනා රාජ මහා විහාරය පිහිටා තිබෙන්නෙ මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල නගරයේ සිට වැල්ලවාය දෙසට දිවෙන මද දුරක් ගොස් කිලෝමීටර් 2 පමණ අතුරු මාර්ගයක ගමන් කිරිමෙන් අනතුරුවය..... 

දුටුගැමුණු හා සද්ධාතිස්ස යන සොහොයුරන් දෙදෙනා යුධ වැදුණු ස්ථානය වශයෙන් මෙය සලකණු ලැබේන අතර දෙසොහොයුරන් යුධ වැදිමෙන් සිදු වු පාප කර්මය,වසාලිමට සද්ධාතිස්ස කුමරු විසින් මේහි දාගැබ කර වු බව සැලකේ......

අඩි 1038 යුක්ත විශාල දාගැබක් වන මෙය ලංකාවේ විශාලම දාගැබ් වලින් එකක් ලෙස සැලකේ,නමුත් දැනට ඇත්තෙ දාගැබෙන් කොටසක් පමණි..දාගැබ සමිපයේ විහාර මන්දිරය 18 වන සියවසට අයත් වුවක් ලෙස සැලකෙන් අතර එහි චිත්‍ර නුවර යුගයේ ලක්ෂණ පෙන්වයි..තවද නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද සෙල් ලිපියක් ද මෙහි පිහිටා ඇත.....

                                                                   මේ තමා ලොකු දාගැබ


ලොකු දාගැබට අමතරව තවත් කුඩා දාගැබක් පිහිටා ඇත.එය චුලංගනි නම් ව,එය විශාල දාගැබට මිටර් 150ක් පමණ දුරින් පිහිටා ඇත....



                                                                       චුලංගනි දාගැබ

චුලංගනි දාගැබ අසල තවත් විනාශ වෙමින් යන නටබුන් හා හිටි පිලිමයක කොටස් පවති                                                    
                                                                                              

                                                    බිමවැටි ඇති හිටි පිලිමයේ කොටසක්


                                                              හිටි පිලිමයෙහි පාද යුගල


                                                  නිසි අවධානයක් නොමැතිව පවතින නටබුන්






                                                                 වෙහෙර ලඟ ඉබුල් ගසක්


මා යුධගනාව රාජ මහා විහාරයට ගියේ මීට වසර පහකට පමණ පෙරය,ඒ යන විට නිධන් හොරු විසින් විශාල හානියක් සිදු කොට තිබිණ,විශේෂයෙන්ම දාගැබ  මත විශාල ගස් වැවි තිබු අතර වර්තමානය වන විට යම් තරමක් දාගැබ නම් පිලිසකර කර ඇති බව පෙනේ නමුත් නිසි වැඩ පිලිවෙලක් යටතේ මේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානය රැක ගන්නෙ ද යන්න ගැටලුවකි.අපේ පුරාවිද්‍යාව අනුරාධපුර,පොලොන්නරුව  වැනි ප්‍රදේශ වලට පමණක් සීමා වී ඇත් ද යන්න ගැටලුවකි,නිසි දැනුමක් ඇති පුරාවිද්‍යා නිළධාරීන්ට මෙවැනි ප්‍රදේශ වල ඇති ස්ථාන ගැන සැලකිය යුතු අවධානයක් යොමු කරන බව නම් නොපෙනේ ....එසේ අවධානයක් යොමු කරනවා නම් නව පරිජෙදයන් ඉතිහාසයට ලියවෙන බව නොඅනුමානය,තව කාලයකින් අවධානය යොමු වන විට නිධන් හොරු සියල්ල විනාශ කර දමා යනු ඇත.මේය යුධගනාවට පමණක් පොදු කරුණක් නොව සමස්ථයක් ලෙස විශාල ලෙස පුරාවිද්‍යා හොර කමක් සිදු වන බව සහෝදර ගේ පෞද්ගලික මතය විය හැකිය.එය කෙසේ වුවද මෙවැනි ස්ථානයන් අනාගත පරපුරට ද දැක ගැනිමට රැක ගැනිම යුතුකමක් බව මගේ මතයයි ....

සම හරක් මේ ගඩොල් ගොඩවල් මොනවටද කියා කීමට ද ඉඩ ඇත,ඉතිහාසය කන්න ද මනුස්සයෝ කියා කියන ඇයන්ව ද දැක ඇත.එවැනි කතා වලට මේ අවස්ථාව නොවේ ය..............


සටහන :-
විශේෂ ස්තූතියක් මෙම ජයාරූප හා තොරතුරු ලබා දුන් මාගේ සහෝදරියයට හිමි වන අතර මෙහි එන ජයාරූප සියල්ලෙහි අයිතිය ඈය සතුය ....මෙහි එන ඇතැම් තොරතුරු පත්‍රිකාවකින් උපුටා ගන්නා ලද එවාය.....

14 May, 2014

අමුතු රොටි සහ සිවිල් ආරක්ෂක නිළධාරීන් සමග හේන් කතා


                                     (පින්තූරය ගුගලයා ගෙන් උස්සපු එකක්)


කතාවක් ලියන්න හිතුවට ලියන්න ගත්තාම ලිය වෙන්නෙ නෑ  එක නිසා ලියන්න හිතුණා හේන් කතා ටිකක්,මං කලිනුත් හේන් ගැන ලියලා තියේනවා මුලින්ම ලිව්වෙ ඉරිඟු ගැන,පස්සෙ පැලක හිටපු කතාවක්.හේන් වල ජීවිතය කටුක වුණාට හරි සුන්දර කතා තියෙනව කලින් කතාවක කිව්ව වෙනම අරක්කු ජාතියක් බිව්ව ගුණයයි,මහතුන් වගේ ඇයෝ නිසා හේන් වල වලි ගුටිකෙලි  යනවා වගේම හරි සුන්දර දේවලුත් වෙනවා.

ඔන්න ගුණයයි මහතුනුයි තව ඒ වගේම පොරක් තමා නන්දසිරි කියන්නෙ,මනුස්සයා හිටපු සමෘද්ධි නිළධාරීයේක්,රස්සාව නැති උනේත් මේ බීම නිසා,පඩි දවසට මනුස්සයා බොනවා,බීලා පාරේ වැටිලා ඉන්නවා උඩ සාක්කුවේ තමා පඩි පැකට් එක තියෙන්නේ ඔකටත් කවුරු හරි විදිනවා සමහර දවස් වලට,ඔහොම වැඩ අතරේ මොනවදෝ ලිපි ගොණු වගයක් බීපු තැනකදි අතුරු දහන් වෙලා,එදා ඉදන් ජොබ් එකට තිත.....පස්සෙ හේනක් කරා මේ තුන් දෙනා එකතු වෙලා හවුලේ තමා කරේ තුන් දෙනාම හොද බේබද්දෝ නිසා ඉස්සෙල්ලාම කරලා තියෙන්නෙ කසිප්පු බැරල් එකක් පෙරා ගත්ත එක,පස්සෙ හේන කොටලා කංසා ඇට තැනින් තැන වපුරලා.පස්සේ තමා ඉරිගු ගැන හිතලා තියෙන්නෙ.යායටම කසිප්පු දෙන්නෙ මේ තුන් දේනා එකතු වෙලා,මේ තුන් දෙනාම දවසේම හොදටම බීලා කංසා සුරුට්ටුව කටේ කොණකින් තද කරගෙන සුරුට්ටුව බොන ගමන් තමා වැඩ කරන්නෙ,එක දිගටම වැඩ කරනවා මොන ප්‍රශ්ණේ තිබුණත්.....

අපේ ඉඩමක් තිබුණා මේ තුන් දෙනාගේ වාඩියට ලගම,ඉතිං මමත් ඒ පැත්තෙ යන ගමන් ගුණෙලා ගේ වාඩියටත් පොඩ්ඩක් ගොඩවෙලා යනවා,උදේ දවසක් යනකොට වාඩියේ හැම තැනම පිටි වගයක් හලලා තිබුණා මං ඇහුවා එත් මේ මොකද කියලා ,වැස්ස කාලේට වාඩියේ නිදා ගන්න බෑ කඩි එනවා,විස කුබි ජාති එනවා,එකට කරන දෙයක් තමා නිදා ගන්න කලින් ගිණි මැලෙන් උණු අළු අරගෙන වාඩිය වටේටම දාන එක මං හිතුවේ එහෙම වැඩක් තමා මේ කරලා තියෙන්නෙ කියලා,ඔය විර කොට පුච්චලා එකෙන් ලැබෙන අලු එහෙම ගන්නවා දත් මදින්න,තව බල්ලන්ට හැදෙන තුවාල වලට දාන්න ,මේ ගැන ගුණයාගෙන් ඇහුවාම තමා කතාව කිව්වෙ ...

වාඩියේ රොටි හදන්නෙ කබලෙන් නෙවෙයි ගොඩක් වෙලාවට එකට ගන්නෙ තුනි ගල් පතුරක් එක අරන් තව ගලකින් අතුල්ලලා හොදට සිනිඳු කර ගන්නවා ඊට පස්සෙ තමා එක තමා රොටි හදන්න ගන්නෙ,එහෙම හදන රොටි අමුතුම රසයක් තියෙන්නෙ කන්න පුළුවන් කිසිම ව්‍යංජනයක් නැතුව උනත්  එත් වෙලිණු මුව මස් සම්බොලයක් හරි ගෝන මස් එක්ක හරි එක්ක ගොඩක් වෙලාවට කන්න හබ්බ වෙනවා.ඔන්න කලින් දවසේ තුන් දෙනා රෑට කන්න රොටි හදන්න හිතාගෙන ඒ දවස් වල අපේ ගම් වලට සහනාධාර බේදුවා,නියං සහනාධාර ලැබුණේ හොදටම වැස්ස තියෙන කාලේ,කොහොම හරි එවට ලැබුණේ කිරිපිටි,පරිප්පු ,සාඩින් ටින් වගයක්,තව තිරිගු පිටි පැකට් වගේ දේවල් ටිකක් ලැබුණා මේ දේවල් ටික මේ තුන් දෙනා වාඩියට ගෙනත්,එදා රෑ රොටි හදන්න මහතුන් පිටි ටික හදන්න කියලා මනුස්සයා පිටි බොහොම අමාරුවෙන් හදලා එත් රොටි ගල් තැටියට දලා ටික වෙලාවක් යනකොට රොටිය දියවෙලා යනවලු,සූර් පිට මේ වෙන දේ හිතා ගන්න බැරි වෙලා ,පස්සෙ තමා දන්නෙ මෙහෙම වෙලා තියෙන්නෙ තිරිඟු පිටි පැකට් කියලා සූර් පිටින් මහතුන් අනලා තියෙන්නෙ කිරිපිටි පැකට් එක අයේ රොටි හදන්න වෙලා නෑ,පිටි ටික සූර් පිට හිටපු ගුණයා විසි කරලා,කිරිපිටි වලින් ඉස්සෙල්ලාම රොටි හැදුව ගෞරවය මං හිතන්නෙ මේ තුන් දෙනා ගනි.ඇත්තටම රොටි හදා ගන්න වෙලා නෑ කිව්ව විදියට .......

ඔය කතා ඔහොම වුණේ යුද්ධය තිබුන කාලේ ඒ දවස් වල හේන් වලට යන්න දෙන්නෙ නෑ වැඩිය,හේන් කරන්නෙ නැතුව මොනවා කරන්න ද කියලා මිනිස්සුත් යනවා,ඒ නිසා හේන් වලට යන කැලේ පාරේ හදලා තිබුණා පොඩි බැරියර් එකක් එකේ ග්‍රාමාරක්ෂක නිළධාරීන් (ගම් බට්ටො කියලා කියන්නෙ ) දෙන්නෙක් හිටියා,දැන් නම් මේ අය දකින්න නෑ මං හිතන්නෙ සියලු දෙනාම ජාතිය ගොඩ නගන්න දැන් වගාව කරනවා.කොහොම හරි හෙන් වලට යන පාරේ මේ හිටපු දෙන්නා නිසා පොඩි පොඩි කරදර තිබුණා දවසක් යායේ හැමතැනම පොලිසියෙන් ඇවිත් අර තුන් දෙනාව හොයනවා,සමාන්‍යයෙන් මේ තුන් දෙනාට පොලිසිය කියන්නෙ ගෙදර වගේ,නිතරම යන එන තැනනේ,මේ සැරේ මොකක් කරල ද කියලා හොයලා බලනකොට තුන් දෙනා එක්කාසු වෙලා ග්‍රාමාරක්ෂක නිළධාරීන් දෙන්නා ගේ තුවක්කු උස්සලා,මහ දවාලේ ගමේ කවුරු හරි ඔත්තුව දිලා මේ තුන් කට්ටුව තමා වැඩේ කරලා තියෙන්නෙ කියලා,කොම හරි දවස් තුන හතරකට පස්සෙ ගමට තුන් දෙනා ඇවිත් හිටියා,තුවක්කු උස්සපු කතා කිව්වෙ නම් නෑ......

ඔය සිවිල් ආරක්ෂක නිළධාරින් ගැන කියන කොට තවත් කතාවක් මතක් වුණා.ඔය පොඩි පොඩි මුර කුටිවල හිටියේ ගම්වලම කොල්ලො ඉතිං ඔය කොල්ලො බැදපු අලුත ගොඩක් අය,එක නිසා ද දන්නෙ නෑ රෑට මුර දැම්මට හොරෙන් ගෙදර යනවා.දවසක් මළ ගෙදරක් වුණ දවසේ ඒ ලග මුර කුටියේ ඉන්න ඕන දෙන්නා ගෙන් එක මනුස්සයෙක් නෑ,නම ඇහුවාම දන්න කොල්ලෙක් අපි කලේ නම්බර් එක අරන් කොල් එකක් අරන් කතා කරා සිවිල් ආරක්ෂක ප්‍රධානියෙක් විදියට,තමුන් රජකාරිය පැහැර හැරලා තියෙනවා මං ඉන්නෙ මේ මුරපොළ ලග කියලා කතා කරා,මේ පොර කියනවා සර් බඩේ අමාරුවක් හැදුනා මේ දෙහි ගෙඩියක් ගෙන්න  ලගට ගියා කියලා,ආ එහෙනම් එනවා ඉක්මනින් තමුසේ ගැන හොයලා බලන්න ඕන කිව්වා,අපි මග කොඩි අදිනවා මේන්න මේ මනුස්සයා එනවා දෙහි ගෙඩි වගයක් අරන් ,බලනකොට ඇත්තටම බඩේ අමාරුවකින් ඉදලා තියෙන්නෙ,මනුස්සයා රෑ එළි වෙනකන් කාපු කට්ට කිව්වෙ එතන හිටපු අනික් කෙනා පස්සෙ දවසේ කොමහරි මේ වැඩේ කරේ කවුද කියලා මනුස්සයා දැනගෙන තිබුණා ....ඊට පස්සෙ වුණ දෙවල් අයේ කියන්න දෙයක් නෑනේ ඔය කොල් ගැන කියන කොට තව කතා මතක් වුණා .......

මෙහෙම කතා ලියන්න ගියාම නවතින්නෙ නැතුව කියන්න වෙනවා.....

කුප්ප ලෙස මේ ටික කාලයක් ගෙවුණා,මුලදි මගේ තිබුන ජොලි ගතිය දැන් ගිහින් වගේ,මං මුල් කාලේ ලියපු එවත් එක්ක බලනකොට,දැන් මං කමෙන්ටු වලටත් කියන්නෙත් යන්නෙ කොහෙද මල් පොල් කතා වගේ ...ඒ ගැන සමාව ඈ :))))) අයේ මල් මූඩ් එක ගන්න මේ උත්සාහය ඈ .....

එහෙනම් ප්‍රිති වෙසක් සියලුදෙනාම.........

ප.ලි 
මේ කතා මීට වසර කිහිපයකට කලින් සිදු වූ සිද්ධින් ය.......

10 May, 2014

හැරවුම ......



සර් ……..සර් ……….
හා …… එන්න… එන්න………
මං….. යන්න… කියලා….සර් 
දොඹේ …අදම යන්න ද හදන්නෙ….
ඔව් සර් ….
මේ තිරණේ හොදට හිතලද දැන් ගත්තෙ ඈ …..
මං හොදටම  මේ තිරණේ ගැන හිතුවා …….
ඇයි දොඹේ මෙතන දලා යන්නෙ ?
මට මෙතන ඉන්න හිතෙන්නෙ නෑ සර් …..
ඒ මොකෝ ඈ…….හෙක්… හෙක්
සර් මේ නැමෙන නැමිල්ලෙ සිමාවක් නෑ……කෙලින් වැඩ කරනවා කියලා හිතපු මේ වගේ තැන් වලත්  මේ නැමෙන නැමිල්ල මට තවත් කරන්න බෑ සර්…..ඉතිං මං  යනවා…. 
මමත් ඔහොම කාලයක් හිතුවා …හ්ම්ම්ම්ම්….දැන් මෙතනින් දොඹේ ගිහින් මොකද කරන්න හිතන් ඉන්නෙ ….
සර්……මං --------- කරන්න හිතන් ඉන්නෙ …..
හ්ම් ……හොදයි …....හොදයි ….

එහෙනම් යමුකෝ ---------- පැත්තෙ…..ගිහින් අපි මේ කතා කරමු,ආ මෙන්න සල්ලි …..දොඹේ ගිහින් වයිට් ඩයමන් එකකුයි,ස්ප්‍රයිට් එකකුයි ,බයිට් එකට මොනවා හරි අරන් එන්න …….

ඔන්න කලමනා ගෙනත් දෙන්නා වැඩේ පටන් ගත්තා ……..මේ ඒ අතර කතාව

උඹ බොනවා නේ …..වක් කර ගනින් එහෙනම් ….
දොබේ දන්වද වාහන වල දුණුකොළ ගැන …..
ඔව්…..සර් …දන්නවා …..
වක්කර ගනින් බන් මෙතන සර්ලා … නෑ…සර්ලා ඉන්නෙ ඇතුලේ විතරයි …..මෙතන ඉන්නෙ  ---------- කියන මනුස්සයා …..
ඔය දුණු නැමෙනවානේ …….දැකලා ඇති ….එ උනාට ඔවා හරි හයියයි …….

උඹට ඔහොම කිව්වා කියලා මේ කතාව තෙරෙන්නෙ නෑ …..උඹට තියෙන්නේ නැමෙන්න බැරි ලෙඩේ නේ ….හ්ම්ම් ……මේ කතාව අහපන් කෝ ……

ඔන්න දෙවාලයක් තියෙනවා එකේ දොර අඩි පහක් විතර උස දැන් උඹට ඔය දොරෙන් යන්න බෑ කෙලින් යන්න ඕන නැමිලා එත් උඹට උවමනාවක් තියෙනවා දේවාලෙ බලන්න යන්න…….උඹ මොකද 
කරන්නෙ

මං  දේවාලෙට නොයා ඉන්නවා සර්…


එක නෙවෙයි පුතා කරන්න ඕන ….උඹට නොයා හිටියොත් උඹටවත් උඹ වගේ හිතන වුන්ටවත්  කවදාවත් දේවාලේ මොන වගෙද කියලා බලන්නවත් බැරි වෙයි ……..එක නිසා උඹ කරන්න ඕන ගිහින් දේවාලේ දොර වෙනස් කරපන් …..

එක කරන්න බෑ…සර් ….මිනිස්සු මාව ගහලා මරයි

නෑ උඹට කරන්න පුළුවන් පුතා මෙහෙමයි…... ඉස්සෙල්ලාම උඹ දේවාලෙට දොරෙන් නැමිලා පලයන් …….ගිහින් බලපන්….ඊට පස්සෙ ගිහින් දේවාලේ අතු පතු ගාන වැඩේ කරපන් …..එහෙම කාලයක් යනකොට උඹට ඔය දේවාලේ ඇතුලේ තියෙන සුළු සුළු වැඩ කරන්න දෙයි ….එවත් හොදට කරපන් ……එහෙම කාලයක් යනකොට දේවාලේ පුදපුජා ලැස්ති කරන තැනට උඹට යන්න පුළුවන් ……

වක්කර ගනින් තව ටිකක් …..උඹට වැඩි ද ?

නෑ ,හරි ….සර් …..කතාව කියන්න

එහෙම ටික දවසක් යනකොට උඹට පුළුවන් දේවාලේ දුම් අල්ලන කපුවා ගේ ගොලයා වෙන්න ….එහෙම ඉන්න ගමන් උඹට පුළුවන් දේවාලේ දෙවැනි කපුවා වෙන්න ….එතකොට උඹ ප්‍රසිද්ධයි මිනිස්සු උඹට ගරු කරනවා ….හැබැයි තවම උඹට බෑ දේවාලේ දොර වෙනස් කරන්න…..එත් උඹ දොර වෙනස් කරන එක මතක තියන් ඉන්න ඕන..….ඔහොම ටික කාලයක් යනකොට උඹට පුළුවන් පුතා දේවාලේ ලොකු කපුවාම වෙන්න ……………අන්න එදාට  උඹ මිනිස්සුන්ට  කියපන් දේවාලේ අපි ටිකක් ලොකු කරමු ඉඩපාඩු වැඩි කරමු කියලා …..එදාට උඹට පුළුවන් පුතා දේවාලේ දොර වෙනස් කරන්න...….අන්න එදාට උඹ හිතපු තරමේ දොරක් දාපන් ඔලුව කෙලින් තියන් දේවාලේ ඇතුල්ට යන්න පුළුවන් වෙන්න…...එහෙම වෙනස් කරන්න ටික කාලයක් යයි පුතා ,එත් ඒ දොරෙන් එන මිනිස්සු දේවාලේට කොන්ද කෙලින් තියන් එයි …ලෝකේ කොහේ උනත් මේ නැමිල්ල තියෙනවා පුතා …..එකයි ස්භාවය …...

හ්ම්ම් …….තවමත් උඹේ තිරණේ වෙනසක් නැත්ද ….

නෑ…..සර් මගේ තිරණේ එකමයි ….

හ්ම්ම් ඒ කියන්නෙ උඹ යනවා......මං ….දන්නවා පුතා  උඹේ හිත හොදයි …..ටිකක් ඉවසලා හිටපන් ….බැන්දේ එහෙම නැනේ?
හ්ම්ම්ම්ම් …….තවම නෑ සර් …
මොනාවා කරත් ඉක්මන් නොවි හොදට හිතලා කරපන් ……
උඹලාට තවම වයස තියෙනවා .....

සටහන :-
බොතලයක් හිස් කරමින් මේ කතාව අවසන් වුවත්,එය ඇතැම් ජීවිත වල නව පරිච්ඡේදයක අරම්භයක් විය ..අවසන් වශයෙන් කියන්න ඇති දේ නම් ජීවිත ඇති කරන්නෙත් නැති කරන්නෙත් බලාපොරොත්තු ය  ….

ප.ලි
මේ කතවා මතක් වුයේ කෙන්ජී මාමා ගේ දේවාල කතාවක් නිසාය …මේ කියන්නෙ මා බොගි හැර දා යන කතාවක් නොව වෙනත් කතාවකි....පෞද්ගලිකත්වය ගැන නොසිතා කතාව ගැන හිතන්න...